නිදහසට පෙර අපේ රටේ...
 

එක් දහස් නවසිය හතළිස් අටේ වර්ෂයේ පෙබරවාරි හතර වැනිදා අප ලක්බිමට නිදහස ලැබෙන විට මම වයස අවුරුදු දහයක කුඩා කොලු ගැටයකු වීමි. එදින මුළු දිවයින පුරාම මහත් උත්කර්ෂවත් සිරියක් ගත්තේ සුදු ජාතීන්ගේ එතෙක් පැවැති පාලන යුගය අවසන් කරමින් හෙළ විරුවන්ගේ පාලන යුගය ආරම්භ වන දිනය වූ බැවිනි.

එකල වයඹ පළාතේ බිංගිරිය ප‍්‍රදේශයේ තාරණ - උඩවෙල රජයේ මිශ‍්‍ර පාඨශාලාවේ ප‍්‍රධානාචාර්යවරයා ලෙස මගේ දයාබර පියාත් එහිම උපගුරුවරියක ලෙස මගේ මවත් සේවය කළ අතර ඒ වනවිට සරොම් හා මේස් බැනියම්වලින් සැරසුණු ශිෂ්‍යයන් ගෙන් ද ළමා සාරි හා සාය හැඳගත් ශිෂ්‍යාවන්ගෙන් ද මේස් බැනියම් හා සරොම් ද රෙදි හා හැට්ට ඇඳගත් මව් පියවරුන්ගෙන් ද කෝට් හා ටුවිට් රෙදි වලින් ද ඔසරිවලින්ද සැරසුණු ආචාර්ය මංඩලයේ ම මහත්ම මහත්මීන් ගෙන් ද තාරණ - උඩවෙල පාසල පිරී පැවතිණි.

ප‍්‍රථම වරට ජාතික කොඩිය එසෙවීමෙන් පසු ප‍්‍රදේශයට තිබූ එකම එක වයර්ලස් යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කළ අපි කොළඹ පැවැති ඒ මහා ජාතික මහෝත්සවය ශ‍්‍රවණය කළෙමු. ඉන් පසු පාසලේ පැවැති උත්සවයේදී මනරම් ගීතයක් ගැයීමේ මහඟª අවස්ථාව මාහට උදාවිය.

ඒ වනවිට පස්වැනි පංතියේ ඉගෙනුම ලැබූ මාහට ඉන් පෙර පැවැති සුදු අධිරාජ්‍යවාදීන් ගේ ලංකා පාලන ඉතිහාසය පිළිබඳවත් ඔවුන්ගේ පාලන සමයේ දී මෙරට සිදුවූ වැදගත් කරුණු හා අප ලක්බිමට නිදහස ලබාගැනීම සඳහා එදා ඒ සිංහල වීරවරයින් ගත් ඒ අප‍්‍රතිහත සටන පිළිබඳවත් මගේ පියා වන අමරදාස දිසානායක මුල්ගුරුන්නාන්සේ මෙම ජාතික මහෝත්සවය අවසානයේ පැවැති කථාවේදී අප දැනුවත් කළ අයුරු අද මෙන් මතකය.

එක් දහස් අටසිය අනූ නවයේ හා එක්දහස් නවසිය හතේ උපන් මගේ දයාබර පියාත් මවත් මෙම සුදු පාලන කාලවලදී දිවයිනේ විවිධ අතිදුෂ්කර ප‍්‍රදේශවල අති මහත් දුක් ගැහැට විඳිමින් සේවය කර ඇත්තාහ.

මුළු දිවයිනේ ම අධ්‍යාපන පරිපාලනමය කටයුතු මෙහෙයවනු ලැබුවේ එකල කොළඹ , මැලේ වීදියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටි දිවයිනටම සිටි එකම එක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසිනි. ඒ එච්.ඩබ්ලිව්. හවුස් නමැති බි‍්‍රතාන්‍ය ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ය.

මුළු රටටම සිටි එකම ප‍්‍රධාන අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වන ඔහු මුළු දිවයිනේ ම අධ්‍යාපන කටයුතු මෙහෙයවූ අතර ඔහුට සහායට ඔහු යටතේ පළාත්බඳව දිස්ති‍්‍රක් අධ්‍යාපන නිලධාරියෙකු ද මාණ්ඩලිකව අධ්‍යාපන නිලධාරිවරයෙක් සහ කොට්ඨාස භාර අධ්‍යාපන නිලධාරියෙක් මෙම අධ්‍යාපන හා පරිපාලන කටයුතුවලට සහාය වූහ.

ගුරුවරුන් ගේ ස්ථාන මාරු කිරීම් පිළිබඳව සියලු කටයුතු මැලේ වීදියේ ප‍්‍රධාන කාර්යාලයේ සිටි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අතින් සිදු කෙරිණි. අද මෙන් නොව එකල ගුරුවරු ද අඩු වූහ.

එපමණක් නොව ගුරුවරුන් මුළු රට පුරාම සේවය කළ යුතු විය. උතුරේ සිටින ගුරුවරුන් දකුණටත් දකුණේ සිටින ගුරුවරුන් උතුරටත් නැඟෙනහිර ගුරුවරුන් බස්නාහිරටත් බස්නාහිර සිටින ගුරුවරුන් නැඟෙනහිර ප‍්‍රදේශවලටත් වරින්වර ස්ථාන මාරු කිරීම එකල අනිවාර්ය වූයේ ය.

කිසිදු පැකිළීමකින් තොරව ඉතා දුෂ්කර ප‍්‍රදේශවල පවා එකල ගුරුවරු සේවය කළ හ. තමාගේ ගම් ප‍්‍රදේශයේ සේවය කරන ගුරුවරු දක්නට නොවූහ.

දිවයිනේ මාර්ග ඉතා නොදියුණු මට්ටමක පිහිටි මෙ සමයෙහි ප‍්‍රධාන මාර්ගයක දිවෙන බසයක් කරා යෑමට සැතැපුම් හත අටක් පයින් යා යුතු විය. පාරක කාරයක් හෝ යතුරු පැදියක් දිවෙන්නේ කලාතුරකින් වූ අතර පා පැදියක් හෝ කෙනකුට හිමිව තිබුණේ කලාතුරකිනි.

අද බඩුබාහිරාදිය ප‍්‍රවාහනය සඳහා වූ ලොරි වෙනුවට එදා වූයේ ගොන් දෙන්නකු බැඳි බර කරත්ත ද වෑන් රථ වෙනුවට තනි ගොනා බැඳි බර බාග ය. ගමන් බිමන් සඳහා මෝටර් රථ වෙනුවට ගොන් දෙන්නකු බැඳී ගමන් කරත්ත ද, තනි ගොනා බැඳි ගමන් කරත්ත ද ටැන්ටු කරත්ත ද රේස් කරත්ත ද තිබීම සුලභ දසුනක් විය.

පාසල්වල ඉගැන්වීම් කටයුතු වල දී ඒ ඒ පන්ති සඳහා එක් ගුරු භවතකු බැගින් බාරව කටයුතු කළ අතර අද මෙන් ඒ ඒ විෂයනට වෙන වෙන ම ගුරුවරු නොවූහ. පන්තිය බාරගන්නා ගුරුභවතා ඉතිහාසය, භූගෝලය, ප‍්‍රජාචාරය, චිත‍්‍ර කර්මය, අංක ගණිතය සහ සරඹ වැනි සියලුම විෂයයන් ඉගැන්විය යුතු අතර ඒ ඒ විෂයයන් සඳහා වෙන්වූ විශේෂඥ ගුරුවරු එකල නොවූහ.

මුල් ගුරුවරයා පවා එක් පන්තියක් බාරව කටයුතු කළ අතර ඔහු ඊට අමතරව පාසලේ පරිපාලනමය කටයුතු ද ඉටු කළ යුතු විය. පාසලකට අධ්‍යාපන නිලධාරියකු හෝ පැමිණෙන්නේ කලාතුරකිනි.

එය ද කලින් දැනුම් දීමකිනි. පාසලේ සිසුන්ගේ ඉගෙන ගැනීමේ කටයුතුවලට වඩා එකල නිලධාරීන් සොයා බැලුවේ ගුරුවරුන්ගේ අඩු පාඩුකම් සහ වැරැදි ය. ඒ එන අධ්‍යාපන නිලධාරිවරයාට ඉතා හොඳින් සාත්තු සප්පායම් කර ඔහු මෝටර් රථයෙන් පිටත්ව යන විට පඬුරු පාක්කඩම් ද පිරිනමා යැවිය යුතු විය.

එකල කාරයක් හිමිව තිබුණේ රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ උසස්ම තානාන්තරයක් හොබවන අයකුට ය. යතුරු පැදියක් හිමිව තිබුණේ පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ සැරයන් කෙනකුට හෝ වතු අධිකාරිවරයෙකුට හෝ පමණි. විදුලිබලය බොහෝ ප‍්‍රදේශවල නොතිබූ මෙසමයෙහි සෑම නිවසකම දල්වනුයේ කුප්පි ලාම්පු ය.

අද මෙන් විදුලිය බලයෙන් කි‍්‍රයාකරන කිසිම යන්ත‍්‍ර උපකරණ ගෘහ උපකරණ නොතිබූ මෙසමයෙහි මං මාවත් අතින් අප දිවයින අතිමහත් දුර්වල මට්ටමක පැවතිණි. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ නොතිබූ මෙකල්හි පළාත්බඳව ඒ ඒ නම්වලින් පෞද්ගලික බස් රථ හිමියන්ට අයත් පැරැණි බස් රථ පමණක් කලාතුරකින් මාර්ගයක දිවෙන අයුරු දැකගත හැකි විය.

එය ද දුවන්නේ පැයකට හෝ පැය දෙකකට වරක් පමණි. පළාත්බඳව දිවෙන මෙම බස් රථවල මගී අසුන් සඳහා ලෑලි පටි ගසා තිබූ අතර ඒවා ඩොජ්, චවලට්, ඔස්ටින් සහ එල්බියන් යන වර්ගවලට අයත් විය.

මෙම බස් සමාගම් ඒ ඒ ප‍්‍රධාන මාර්ග වෙන්කරගෙන තිබූ අතර හලාවත - කුරුණෑගල, පුත්තලම සහ කුරුණෑගල යන මාර්ගවල ග‍්‍රීන් ලයින් බස් ද හලාවත - මීගමුව, මීගමුව - කොළඹ, හලාවත සහ පුත්තලම යන මාර්ගවල විජය බස් ද කොළඹ - ගාල්ල, මාතර යන මාර්ගවල සවුත් වෙස්ටර්න් බ්ලූ ලයින් බස් ද, කොළඹ - රත්නපුර ආදී ප‍්‍රදේශවල නෝර්ත් වෙස්ටර්න් බස් රථ ද රත්නපුර සිට අවට ප‍්‍රදේශවලට ලියෝ මෝටර් වේස් බස් ද යනාදී වශයෙන් ඒ ඒ මාර්ග වෙන් කරගෙන තිබිණි.

ගම්වල හෝ කුඩා නගරවල හෝ කුලී මෝටර් රථ සේවාවක් නොතිබූ අතර කුරුණෑගල, කොළඹ, මහනුවර, ගාල්ල, හලාවත, රත්නපුරය සහ අනුරාධපුරය වැනි ප‍්‍රධාන නගරවල අති පැරැණි ගරාදි රෝද සහිත මෝටර් රථ කිහිපය බැගින් සේවයෙහි යොදවා තිබිණි. කොළඹ නගරයේ සුළු ගමන් සඳහා රික්ෂෝ සේවාවක් තිබූ අතර ට‍්‍රෑම් කාර් සේවාව ද බොහෝ ජනප‍්‍රිය වී තිබිණි.

ගමේ එකම නායකයා ගම්මුලාදෑනි හෝ කෝරලේ මහතා විය. සිංහල අලුත් අවුරුදු සමයේ දී මෙම ගම්මුලාදෑනියාට සහ කෝරලේ මහතාට ලැබෙන අලුත් අවුරුදු බත් වෑංජන පෙට්ටි ගණන ද අති මහත් විය. පළාතේ දිසාපති වරයා ද සුදු ජාතිකයකු වූ අතර ඔහුගේ අණසක පරිදි කෝරලේ මහතා මුළු කෝරලයම ද ගම්මුලාදෑනියා තමාට අයත් වසම ද පාලනය කළේ ය.

1942 පැවැති දෙවැනි ලෝක යුද්ධ සමයේ අප ලංකාවාසීනට ආහාර පාන අතින් දැඩි අසීරුතාවයකට මුහුණපෑමට සිදු විය. පාසල් භූමිවල පවා මෙකල අල, බතල සහ මයියොක්කා වැනි දෑ වගා කරන්නට වූහ. බොහෝ දිනවල ආහාර සඳහා බජිරි සහ කොල්ලු වැනි දෑ ප‍්‍රයෝජනයට ගත්හ.

බයිනෙත්තු ඔසවාගත් මැරෑටි දිවයින පුරා හොල්මන් කරන්නට වූහ. අහස් යානා එනවිට වහා දිවගොස් සැඟවීම සඳහා විශාල වලවල් පාසල් භූමිවල කපා තිබිණි. ආහාර අහේනිය මඟ හරවා ගනු වස් පාසල්වල මහා පරිමාණයෙන් වගා කටයුතු කෙරිණි. මේ වනවිට මගේ පියාත් මවත් සේවය කළේ රිදී විහාරය අසල පහළ ගොඩපොල රජයේ මිශ‍්‍ර පාඨමාලාවේය.

පාසල ඉදිරිපිට බයිනෙත්තු ඔසවාගත් මැරෑටි සිටි අතර කුඩා අප දෙසට එම බයිනෙත්තු දිගු කරන මැරෑටි එසේ කරන්නේ අප බිය වැද්දීමට ය. මෙකල ලංකාවේ දුම්රිය සේවාව ද බොහෝ සෙයින් සුදු ජාතිකයන් ගේ මෙහෙයවීම මත සිදු කෙරුණි. බොහෝ දෙපාර්තමේන්තු, කාර්යාල සහ සේවා ස්ථානවල රාජකාරි කටයුතු කෙරුණේ සුදු ජාතිකයින් ගේ පරිපාලනය මතය.

ලන්දේසි, ඕලන්ද යුග පසුකරමින් පැවැති මෙම බි‍්‍රතාන්‍ය පාලන යුගයේ දී ලංකාවේ බොහෝ පාසල්වල ඉගැන්වීම් කටයුතු කෙරුණේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙනි. සිංහලෙන් කථා කළ සිසුවෙකුට ශතයක දඩයක් ගෙවීමට ද සිදුවිය.

ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කළ කටයුතු කළ අය ඉහළින් සැලකූ මෙම අවදිය නිමාවට පත්වූයේ එක්දහස් නවසිය හතළිස් අටේ අප ලැබූ පූර්ණ නිදහසින් පසුව බව කිව හැකිය.

ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහලට මුල් තැන එමින් තිබූ මෙසමයෙහි බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ සිහල බස රජ බස වීමෙන් පසු එතෙක් ඉංග‍්‍රීසි බසින් ලියැවී තිබූ පාසල් පොත්පත් සිංහලෙන් මුද්‍රණය වීමත් සමඟම එතෙක් දෙවැනි පන්තියේ සිට අටවැනි පංතිය දක්වා ඉංග‍්‍රීසි බසින් අධ්‍යාපනය හැදෑරූ මාහට එතැන් පටන් සිංහල බසින් මුද්‍රණය වූ පොත් පත් පරිශීලනය කරමින් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදා විය.

ඒ අනුව ලංකා ඉතිහාසය, භූගෝලය, ප‍්‍රජාචාරය, අංක ගණිතය, ජ්‍යාමිතික හා යාන්ති‍්‍රක ඇඳීම, ලෝහ වැඩ, ලී වැඩ යනාදී විෂයයන් පිළිබඳ පොත්පත් සිංහල බසින් මුද්‍රණය වූ අතර ඉංග‍්‍රීසි විෂයයන් වශයෙන් ද අනෙකුත් සියලුම විෂයයන් පිළිබඳව පොත්පත් සිංහලෙන් ද පරිශීලනය කිරීමට හැකියාව පාසල් සිසුනට උදාවිය.

1948 අප ලැබූ නිදහසින් පසු මෙරට රාජ්‍ය පරිපාලනමය වෙනස්වීම් රාශියක් කෙමෙන් කෙමෙන් සිදුවිය. බි‍්‍රතාන්‍ය ජාතිකයින් අතට පත්ව තිබූ දේශපාලනමය, ආර්ථික, සමාජමය, පරිපාලන කටයුතු රාශියක් සිංහලයින් අතට පත් වීම සුවිශේෂී සිද්ධියක් විය.

මේ නිසා එතෙක් සුදු ජාතීන්ගේ අණසකට යටත් ව උන් සිහලුන්ට තම තමන්ට අවශ්‍ය පරිදි ලංකාවේ සම්පූර්ණ පරිපාලනමය කටයුතු කරගෙන යෑමට වරම් ලැබිණි. අද රුපියල් විසිදාහක් පමණ වැටුපක් ලබන රජයේ ගුරුවරයකු එදා ලබාගත්තේ රුපියල් සිය ගණනක වැටුපකි. එදා මහා මාර්ග නඩත්තුව සඳහා කම්කරුවන් හට උපදෙස් දීමට පළාත් බඳව මාර්ග ඕවර්සියර් කෙනෙකු සිටි අතර මහා මාර්ග පවා ඉතා පටු විය.

අද මෙන් කාපට් යෙදූ පුළුල් මාර්ග එදා නොවීය. අද ගම් දනව් සිසාරා තාර යෙදූ පාරවල් දක්නට ඇති අතර එදා ගම්වල සෑම පාරක්ම පාහේ වල් බිහිවූ බොරලු පාරවල් විය. ගමකට ඇති නිවෙස් ගණන එදා දහයක් පහළොවක් වූ අතර අද එය සිය ගණන ඉක්මවා ඇත. අධ්‍යාපන මට්ටම අතින් බලන කල එදා ඒ නොදියුණු ගම්වල දරුවන් සැතැපුම් ගණනක් පාසලට පයින් යා යුතු වුව ද අද සෑම ගමකම පාහේ පාසල් ආරම්භ වී ඇත.

පාසල ඇරුණු පසු වහා දිව යෑමට එදා ටියුෂන් පන්ති නොතිබූ අතර එදා ගුරුභවතකු සවස් යාමයේ යම් ළමයකුට ගෙදරට ගෙන්වා යමක් උගන්වනු ලැබුවේ ශත පහකවත් මුදලක් අය නොකිරීමෙනි. අද පාසලේ විශාල වැටුපකට උගන්වන ගුරුවරයා සවස් යාමයේ දරුවකුට උගන්වනු ලබන්නේ ද විශාල මුදලක් අය කර ගැනීමෙනි.

1948 නිදහස ලැබීමට පෙර එදා මිල මුදල් ඇති අයගේ දරුවන් නගරබද පාසලට ගොස් අධ්‍යාපනය හැදෑරූ අතර අද ගමේ පාසලේ අධ්‍යාපනය හදාරමින් උසස් අධ්‍යාපන ප‍්‍රවේශයට පිවිසීමට ගමේ දුප්පතාගේ දරුවනට පවා හැකිවීමේ වරම් උදා වී ඇත. එහෙයින් ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන්, මෙන් ම රාජ්‍ය පරිපාලනයේ ඉහළම තැනට යෑමේ හැකියාව අද, අප ගමේ දුප්පත් ගැමියාගේ දරුවාට ලැබී ඇත.

විශ‍්‍රාමලත් ආචාර්ය
ඩී.එන්. දිසානායක
කොස්වත්ත - බිංගිරිය

(c) Shilpa Sayura Foundation 2006-2017