එංගලන්තය කතොලික සභාවෙන් ඉවත්වීම
 

එංගලන්තයේ අටවන හෙන්රි රජු පාප්තුමා සමඟ අමනාප වී කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. ඔහු තාපසාරාමවල වස්‌තුව පැහැර ගැනීමටද මෙය අවස්‌ථාවක්‌ කර ගත්තේය. එසේ වුවත් එතරම් ජනනායකගේ විරුද්ධ කමට හේතු වු ඒ නොපනත්කම් ගැන ක්‍රියා කිරීමට ශත වර්ෂයේ මැද භාගයේදී කතෝලික සභාව යුහුසුළු විය. ජර්මන් - ඉතාලි දේශ සීමාවෙහි පිහිටි ට්‍රෙන්ට්‌ නගරයේදී 1545 දී තුන්වන පෝල් පාප්තුමාගේ උනන්දුව නිසා පැවැත්වුණු පූජක සභාවක්‌ මගින් ප්‍රතිසංස්‌කරණ රාශියක්‌ කරන ලදී. රෙපරමාදු වාදීන් ආපසු කතෝලික සභාවට හරවා ගැනීම පිණිසත්, ක්‍රිස්‌තියානි නොවූවන් අතර ධර්මදූත වැඩ කිරීම පිණිසත් 'ඉග්නේෂන් ලොයෝලා' නම් ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ 1534 දී සභාවක්‌ ආරම්භ කළේය. එහි සාමාජිකයින්ට 'යේසු සහෝදරයෝ' යයි කියනු ලැබීය.

ට්‍රෙන්ට්‌ සම්මේලනයෙන් ගත් යම් යම් තීරණයන් ධර්මාධිකරණය මඟින් ක්‍රියාත්මක කළේය. මෙසේ කතෝලිකයින් නොයෙක්‌ ආකාරයෙන් උත්සාහ දැරූ නමුත් එහි ප්‍රතිඵල අඩුවූයේ කල්යල් ඉක්‌ම ගිය පසුවකටයුත්තට බැසීමෙනි. උතුරු යුරෝපයේ රටවල් රෙපරමාදු වාදය වැළඳ ගත්හ. ජර්මනිය ප්‍රංශය හා නෙදර්ලන්තය වසර ගණනක්‌ තිස්‌සේ ආගමික යුද්ධ වලින් බිඳී ගියේය. මෙහි ප්‍රතිඵලය වූයේ ජර්මනියේ රාජ්‍යයන් කතෝලික රෙපරමාදු කියා දෙපක්‌ෂයකට කැඩී යාමත් නෙදර්ලන්ත වාසීන් සිය පාලකයන් වු ස්‌පාඤ්ඤ රජවරුන්ට විරුද්ධව කැරලි ගැසීමෙන් එහි උතුරු කොටස ස්‌වාධීන රෙපරමාදු රටක්‌ වීමත්, ප්‍රංශ රෙපරමාදු වාදීන් යුද්ධ කොට තමන් කැමති පරිදි ආගම අදහන්නට නිදහස ලබාගැනීමත්ය.


පෙර එකම ආගමක්‌ යටතේ පැවති බටහිර යුරෝපයේ සමඟිය කැඩී ගියේය. ආගමික ප්‍රතිසංස්‌කරණය හේතු කොට ගෙන පුද්ගලයාට තමාගේ සිතැති අනුව අදහන්නට නිදහසත් දෙවියන් වහන්සේගේ වචනය තමාට වැටහෙන්නේ යම් අර්ථයකින්ද, ඒ අර්ථය අනුව තමාගේ ජීවිතය පවත්වා ගෙන යාමටත් නිදහස ලැබුණේය.

(c) Shilpa Sayura Foundation 2006-2017