ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ආගම ඇතිවීම
 

ක්‍රි.ව. 1483 දී ජර්මනියේ ගොවි පවුලක උපත ලැබූ මාටින් ලූතර්ම්, මුල් කාලයේදී නීතිය ඉගෙන නීතිඥයෙකු වීමට සිතා සිටි නමුත් පසුව එම අදහස අතහැර දමා, ඔගස්‌ටීන් නිකායේ තාපසාරාමයකට ඇතුළුවී දේව ධර්මය හා මනුෂ්‍ය වාදය හැදෑරුවේය. ඉන් පසු පූජකයෙකු වූ ඔහු චීට්‌න්බර්ග් විශ්ව විද්‍යාලයේ දේව ධර්මය පිළිබඳ ආචාර්ය ධූරයක්‌ ලැබුවේය. 1510 දී මොහු රෝමයට ගිය අවස්‌ථාවේදී පාප් සංවිධානයේ තිබුණු නොයෙකුත් දුර්වලතා පිළිබඳව අවබෝධයක්‌ ලබාගත්තේය.


1517 දී ඔහු කතෝලික සභාව අනුගමනය කළ 'පව් සමා ක්‍රමය' තදින් හෙලා දැක්‌කේය. සැක්‌සන් ප්‍රදේශයට පව් සමා කිරීම සඳහා පැමිණි 'ටෙට්‌සල්' නම් පූජකයා ඕනෑම කෙනෙකුට පූර්ණ ඵලයක්‌ මිලදී ගෙන ඕනෑම පාපයකින් මිදීමට හැකි බව කියා සිටියේය. මේ අවස්‌ථාවේදී මාටින් ලූතර් එයට දැඩි ලෙස විරෝධය දක්‌වා කරුණු 95 කින් යුත් පත්‍රිකාවක්‌ විටින්බර්ග් පල්ලියේ දොරෙහි අලවා තැබූ අතර, ඔහු මේ කරුණු පිළිබඳව ඕනෑම කෙනෙකු සමඟ තර්ක කිරීමට සූදානම් බව කියා සිටියේය. මාටින්ලූතර් නියම ලෙසින් අදහස්‌ කළේ මේ ප්‍රශ්නය සම්බන්ධව උගතුන් අතර යම්කිසි වාදයක්‌ ඇති කිරීමයි.

මේ පත්‍රිකාව පාප් වහන්සේගේ බලයට එරෙහිව ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක්‌ යන අදහස සැමතැනම පැතිර ගියේය. මාටින් ලූතර්ගේ අදහස්‌ නිසා ඉහළ පෙළේ පූජකයෝ ඔහු සමඟ උරණ වූහ. ඔහුට මිථ්‍යා දෘෂ්ටිකයෙකැයි කියා පහර දුන්හ. ලූතර් දැක්‌වූ විරෝධතාවයන් නිසා පාප් වහන්සේ මාටින්ලූතර් කතෝලික පල්ලියෙන් නෙරපා දැමුවේය. මාටින් ලූතර්ගේ ක්‍රියා මාර්ගයට ජර්මනියෙන් බොහෝ අනුබල ලැබුණේය. කතෝලික ආගමේ නොපනත්කම් හරිගස්‌වා ගැනීමට ආශාවෙන් සිටි බැතිමතුන්ද, කතෝලික ආගම විවේචනය කිරීමට ඇබ්බැහි වී සිටි උහතුන්ද, ධනවත් පූජකයින්ගේ වස්‌තුව කඩා වඩා ගැනීමට මෙය ඉතාම හොඳ අවස්‌ථාවකැයි සිතු ලොකු ලොක්‌කෝද, ඔහුට ආධාර කළෝය. ලූතර් හා ඔහුගේ අනුගාමිකයන්ට රෙපරමාදුවාදී නම යෙදෙන්නට විය. මොව්හු කතෝලික සභාවෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූහ.

ජර්මනියෙන් පිටස්‌තරව ලූතර්වාදය පැතිරිනු ආකාරය බලන විට ස්‌කැන්ඩිනේවියානු රටවල (ඩෙන්මාර්ක්‌, නෝර්වේ, ස්‌වීඩන්) ප්‍රධාන ලෙසින් දේශපාලන කරුණු මත ලූතර්වාදය ප්‍රචාරය වී ගියේය. ස්‌වීස්‌ ජාතික ස්‌විංලිද, ප්‍රංශ ජාතික ජෝන් කැල්වින්ද ලූතර් ආදර්ශයට ගත්හ. මුළු යුරෝපයම ආගමික වාද විවාද වලින් කඩ කඩවී ගියේය. බොහෝ විට මේවායින් අභ්‍යන්තර යුද්ධ වලට ද මඟ පෑදුණේය.

(c) Shilpa Sayura Foundation 2006-2017