ශුද්ධවාදී ධර්මයක්‌ ඉදිරිපත් වීම
 

15 වන සියවස වන විට නොයෙකුත් දූෂණ කටයුතු ආදිය නිසා වැඩි වැඩියෙන් මුදල් අය කිරීමෙන් රෝම බන්ධනාගාරය පිරී පැවතුණි. කතෝලික සභාව තුළ පැවති මේ දූෂිත තත්ත්වය නිසා කතෝලික සභාව කෙරෙහි ජනතාව තුළවූ භක්‌තිය අඩුවන්නට විය. පුනරුද සමයේ විසූ ඉහළ පෙළේ ලේඛකයෙකු වූ ප්ලාන්ඩර්ස්‌හි ඉරාස්‌මස්‌, තෝමස්‌මුවර් ආදීහු කතෝලික සභාවේ නින්දිත ක්‍රියා කලාපයට තදින්ම පහර දුන්හ.


ඔව්හු ශුද්ධවාදී ධර්මයක්‌ ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පොත් පත් බහුල ලෙස පැතිරී ගියේය. ශාස්‌ත්‍ර පුනරුදය නිසා ජර්මනියෙහි ඇතිවුණු ප්‍රතිඵලය නම් එහි විසූ පණ්‌ඩිතයන් හීබෲ සහ ග්‍රීක්‌ භාෂාවලින් ලියා තිබුණු ක්‍රිස්‌තියානි දහම් පොත් හදාරනනට පෙළබී යාමය. ක්‍රිස්‌තියානි ධර්මය මුලින්ම පොත පතට නංවන ලද්දේ මේ භාෂා වලිනි. මේ පඬිවරු ආගමික කරුණු පිළිබඳව නිවහල්ව කල්පනා කරන්නට පටන් ගත්හ. එසේම මෙකල බයිබලයද ජනප්‍රිය වෙමින් තිබුණි. මේ නිසා ආගමික ලෙසින් පූජකයින්ගේ තිබුණු අවශ්‍යතාවය අනවශ්‍ය එකක්‌ බව ජනතාවට වැටහුණි. ඒ සමඟම කතෝලික පූජකයින්ට පමණක්‌ ක්‍රියාත්මක කිරීමට හැකිව තිබුණු සක්‍රමේන්තුවේ වැදගත් කමද අඩුවෙන්නට පටන් ගත්තේය.

මධ්‍ය යුගයේ සිටි ඉංග්‍රීසි ජාතික වයික්‌ලීෆ් හා බොහිමියන් ජාතික හස්‌ ඉතාලි ජාතික සැවනරෝලා වැනි පුද්ගලයින් කතෝලික සභාවේබලයට පටහැනිව නැගී කටයුතු කළහ. ඔව්හු ක්‍රිස්‌තු සභාවේ තිබූ දූෂණ පිළිබඳව කොතෙක්‌ අදහස්‌ ප්‍රකාශ කළත්, ඒ අදහස්‌ විප්ලවීය ස්‌වරූපයක්‌ ගත්තේ මාටින් ලූතර්ගේ ව්‍යාපාරයක්‌ සමඟයි.

(c) Shilpa Sayura Foundation 2006-2017