ඇමරිකාව යුද්ධයට පිවිසීම හා යුද්ධය කෙළවර වීම
 

යුද්ධය ආරම්භයේදී ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට සහභාගි වීමට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් නිදහස් රටවල් අතරින් බ්‍රිතාන්‍යය හැර අනිකුත් සියලුම රටවල් ජර්මනුන් අතට පත් වෙනවා දුටු ඇමරිකානුවෝ සිත් වෙනස් කර ගත්තෝය. ඔවුහු ප්‍රථමයෙන්ම බ්‍රිතාන්‍යයන්ට පරණ යුද්ධ නැව් කීපයකදී තුවක්කු, පතරෝම් ආදී යුද්ධෝපකරණ සඳහා විශාල මුදලක් ගෙවන්නට සිදුවිය. එහෙත් 1941 අවසානයේදී අක්ෂයේ රටවල් අතුරින් තුන්වන රටවු ජපානය මේ යුද්ධයට එකතුවී බ්‍රිතාන්‍යයට පමණක් නොව එක්සත් ජනපදයටද විරුද්ධව යුධ ආරම්භ කළේය. එම වසරේ දෙසැම්බර් මාසයේදී ඔවුහු හදිසියේම හවායි දූපතේ පර්ල් වරායේ නවතා තිබූ ඇමරිකන් නැව් හමුදාවට බෝම්බ හෙළා හානි කළෝය. මේ නිසා ඇමරිකාව ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. නියම වශයෙන්ම 'ලෝක සංග්‍රාමය' ඇරඹුණේ මෙතැනිනි. පළමුවන ලෝක සංග්‍රාමය පැතිරී ගිය ක්‍රමයටම දෙවන ලෝක මහා සංග්‍රාමයද ඇවිලී ගියේය. මේ මහා යුද්ධය 1939-1945 දක්වා පැවතිණි.


ජපානයේ කාර්මික දියුණුවක් සමඟම අමුද්‍රව්‍ය සහ වෙළඳ පොළවල් ලබාගැනීම සඳහා යටත් විජිත අවශ්‍යය විය. 1932 ඔටාවා සම්මේලනය මගින් ආසියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ජපන් වානිජ ව්‍යාපාරයන් ගෙන් බැහැර කරන ලද නිසා චීනය ආදී අනිකුත් රටවල් අත්පත් කර ගැනීමට ජපානය පෙළඹුණේ යයි අනුමාන කළ හැකිය. පෙරදිග නොදියුණු ප්‍රදේශවලින් වැඩි කොටස හිමිව තිබුණේ ඉංග්‍රීසි, ප්‍රංශ, ඇමරිකන්, ඕලන්ද, රුසියන් යන ජාතීන්ටය. එබැවින් මේ ප්‍රදේශ අල්ලා ගැනීමේදී ඉහතකී රටවල් සමඟ යුද්ධ කිරීමට අවශ්‍යය වන බැවින් ජපානයද ජර්මන් පිලට හවුල් වු බව සිතිය හැකිය.

මෙහිදී ජපානය හිට්ලර්ගේ 'නව යුරෝපය' වැනි අලුත් අදහසක් ඉදිරිපත් කළේය. මේ අදහසට අනුව ජපානය වෙරදැරුයේ ආසියාතික රටවලින් සුදු පාලකයින් පන්නා දැමීමටයි. යුරෝපීය සුදු පාලකයන්ට විරුද්ධව සටන් කරමින් සිටි ආසියාතික යටත් ජාතීන් මේ අදහසට පොළොඹවා ගන්නට හැකිවෙතැයි ජපන්නු සිතූහ. ඒ කෙසේ වුවත් කලක් තිස්සේ ඇති කරගෙන තිබූ සංවිධානයන්ට අනුව පර්ල් වරායෙන් ලත් ජයග්‍රහණය නොකඩවා ඉදිරියට ගෙන යන්නට ජපන්නු පොහොසත් වූහ. 1942 වන විට ලංකාව සහ ඉන්දියාව හැරෙන්නට මුළු අග්නිදිග ආසියාවම ජපනුන්ට අයත් විය. ජපානය 1942 අප්‍රේල් මස 5 දින කොළඹ නගරයටද බෝම්බ හෙළුවේය. නමුත් වාසනාවකට මෙන් විශාල විනාශයක් සිදුවූයේ නැත.

රුසියන් ආක්‍රමණය අසාර්ථක වීමත් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට පැටලීමත් නිසා යුද්ධය දිග් ගැස්සෙන බව හිට්ලර් අවබෝධ කර ගත්තේය. එවැනි දීර්ඝ කාලීන සංග්‍රාමයකට සූදානම් වීම සඳහා දකුණු යුරෝපයේ සහ මධ්‍යධරණී මුහුද අසබඩ යුද්ධ මධ්‍යස්ථානද, උතුරු අප්‍රිකාවද අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය ඔහුට පැහැදිලි විය. එබැවින් හේ 'රොමෙල්' මහ සෙනෙවි යටතේ අප්‍රිකානු සංග්‍රාමය ආරම්භ කළේය. මුල් කාලයේදී ජර්මන් ඉතාලි හමුදා විශිෂ්ඨ ජයක් ලබාගත් නමුදු පසුව ඇමරිකන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් ලැබුණු ආධාර වලින් ධෛර්යමත් වූ මිත්‍ර පාක්ෂික හමුදාවන් ඉදිරියේ ඔව්හු දණ නැමූහ. මේ පරාජය කෙළවර වූයේ මිත්‍ර ජාති හමුදාවන් ඉතාලිය ආක්‍රමණය කිරීමෙනි. ඉතාලියේ පරාජයෙන් ෆැසිස්ට් රාජ්‍යය බිඳ වැටුණේය. ජර්මනිය විසින් ඉතාලිය මුළුමනින්ම පාලනය කිරීමට පටන්ගත් නමුත් 1944 දී මුසෝලිනී මරා දමා නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ඉතාලි දේශ ප්‍රේමියෝ මිත්‍ර පක්ෂයට බැදුණේය.

ස්ටාලින් ග්‍රාඩ් සටනින් පසු රුසියාව සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළ අතර 1943 පටන් මිත්‍ර ජාතිහු ප්‍රංශය මුදා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළෝය. 1944 දී මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක විය. එතෙක් නිපදවූ සෑම වර්ගයේම යුද්ධෝපකරණ දහස් ගණනකින් සන්නද්ධ වූ මිත්‍ර ජාතික බලකායක් 1944 ජූනි මාසයේදී බටහිර ප්‍රංශයේ නෝමන්ඩියට ගොඩබැස ජර්මන් සේනා ප්‍රංශයෙන් නෙරපා දැමූහ. ප්‍රංශය යළිත් නිදහස් රටක් බවට පත්විය.

ප්‍රංශ රහස් ව්‍යාපාරයේද ආධාර ඇතිව බටහිර ජාතීන් ඉදිරියට එත්ම රුසියානුවෝද, නැගෙනහිර මුදා ගනිමින් නාසි ජර්මනියට පහර පිට පහර දෙන්නට වූහ. දෙපැත්තෙන් පහර වැදී දුර්වල වූ ජර්මනිය යළිත් නොනැගැටින බව දත් නාසි නායක හිට්ලර් ප්‍රමුඛ තවත් නාසි නායකයින් කීප දෙනෙක් 1945 අප්‍රේල් මස 30 දින දිවි නසා ගත්හ. හිට්ලර්ගෙන් පසු බලය ලබාගත් අද්මිරාල් ඩොනිෂ්ට් රුසියාවට විරුද්ධව සටන් කිරීමේ පොරොන්දුව උඩ යටත් වන්නට යෝජනා කළ නමුත් එය පිළිගැනුනේ නැත. එබැවින් මැයි 07 දින නාසි ජර්මනියට කොන්දේසි රහිතව යටත් වූයේය.

ජපනුන් ආසියාවේ නොනවත්වාම සටන් කළ බැවින් ඇමරිකන්වරු ජපානය ආක්‍රමණය කිරීමට තීරණය කර ගත්හ. අග්නිදිග ආසියාවේ දූපත් බොහොමයක තවමත් ජපන් සේනා සිටි නමුත් ඇමරිකන්වරු ඔවුන් පලවා හරින්නට වෑයම් නොකොළෝය. ඔවුහු ජපානය අසල වූ දූපත් දෙකක් බිහිසුණු සටනක් කොට අල්ලාගෙන ජපානය ආක්‍රමණය කිරීමට සූදානම් වූහ. 1944 දී බුරුමයේ සිටි ජපන් හමුදාව ඉන්දියාව ආක්‍රමණය කිරීමට තැත්කළ නමුත් බ්‍රිතාන්‍ය හා ඉන්දියන් හමුදාව විසින් ඔවුන් පලවා හරින ලදී. බුරුමය දක්වාම ඔවුන් ලුහු බැඳගොස් ඔවුන්ගෙන් නැවත බුරුමය ලබා ගත්තේය. බ්‍රිතාන්‍යයෝ ලංකාව අග්නිදිග අසියාවේ ප්‍රධාන කඳවුර කර ගත්තේය. එය එස්.ඊ.ඒ.සී. යන නමින් හදුන්වන ලද්දේය. මෙහි සිටි බ්‍රිතාන්‍යය නායකයා වූ මවුන්ට් බැට්න් සාමි මලයාව ආක්‍රමණය කොට ඒ රටින් ජපනුන් නෙරපා දැමීමට අදහස් කළේය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමට පෙර එක පාරටම ආසියාවේ යුද්ධය කෙළවර වීමට කරුණක් යෙදිණ.  

ඈමරිකන් අහස් යානා ජපන් නගරවලට බෝම්බ හෙළමින් මහත් හානි කළ නමුත් සතුරන් හා මරණය දක්වා සටන් කිරීමට ජපන්නු සූදානම්ව සිටියෝය. ජපානය ආක්‍රමණය කළහොත් මිනිස් ජීවිත දහස් ගණන් විනාශ වන බව ඇමරිකන්වරු දැන සිටියහ. මේ වන විට ඔවුන්ට ඉතා භයානක රහස් ආයුධයක් තිබුණි. ඇමරිකන් හා බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් විසින් නිපදවන ලද මෙය පරමානු බෝම්බයයි. තම හේවායන්ගේ දිවි ගලවා ගැනීමටත්, ආක්‍රමණයකදී මියයන දහස් ගණන් ජපන් යුධ භටයන් හා සාමාන්‍ය වැසියන් මරණයෙන් බේරා ගැනීමටත් ඇමරිකන්වරු මේ බෝම්බය පාවිච්චි කිරීමට තීරණය කළෝය. 1945 අගෝස්තු මාසයේ මුලදී හිරෝෂීමා හා නාගසාති යන ජපන් නගර දෙකට පරමාණු බෝම්බ හෙළන ලදින් ඒ නගර දෙක තත්පර කීපයක් තුළදී විනාශයට පත්වූවා පමණක නොව ලක්ෂ ගණන් ජනයාද මරණයට පත්වූහ. මේ සිද්ධියෙන් පසු ජපන් ආණ්ඩුවට යටත්වීම හැර කළ හැකි වෙනත් කිසිවක් නොවීය. ඔද බිඳී ගිය ජපානය 1945 සැප්තැම්බර් 2 වන දින යටත් වීමේ ගිවිසුමට අත්සන් තැබීය. වසර හයක් ලෝකය දැඩි පීඩනයට පත්කළ දෙවන මහා ලෝක සංග්‍රාමය මෙසේ නිමාවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017