රුසියාවද යුද්ධයට අවතීර්ණ වෙයි
 

කල් ගතවෙත්ම රුසියාවද යුද්ධයට සැරසෙන බව රහසක් නොවීය. රුසියාවේ අතිමහත් මිනිස් බලය හා ස්වභාවික ධනය සංග්‍රාමය සඳහා යෙදවුණ හොත් එරට පැරදවීම ඉතා අපහසු වෙනු ඇත. ඒ නිසා හැකි ඉක්මනින්ම රුසියාවට පහර දිය යුතු විය. එහෙත් රුසියාව ආක්‍රමණය කළ හැකිවූයේ උෂ්ණ සෘතුවේදී පමණකි. සුදුසු කාලයේ දී ඒ සඳහා යුද්ධ හමුදා සංවිධානය කර ගන්නා තුරු තවත් අමතර ආක්‍රමණ කීපයක් ආරම්භ කිරීමට හිට්ලර් සිතා ගත්තේය. ඉතාලියට ආධාර දීම සඳහා ඔහු බෝල්කන් රටවල් ආක්‍රමණය කළේය. ජර්මන් ඉතාලි හමුදා විසින් හංගේරියාව, යුගෝස්ලෝවැකියාව, ඇල්බේනියාව, ග්‍රීසිය, ක්‍රීටය ආදී රටවල් සියල්ලම අල්ලා ගන්නා ලදී. ඒ රටවල නාසි ප්‍රතිපත්තියට අනුකූල වන රාජ්‍ය සංවිධානයක් ගොඩ නැගුණි.


මේ කාලය තුළදී රුසියාවද යුද්ධය සඳහා සූදානම් විය. 1941 දී නව අවුරුදු පණිවුඩය නිකුත් කළ ස්ටාලින්, සෝවියට් රාජ්‍යය යුද්ධයට සූදානම් වන බව ප්‍රකාශ කළේය. 1941 මැයි දිනයේදී රුසියන් ජෙනරාල් ටිමේෂෙන්කෝ 'රුසියාවට අත නොතබනු'යි තර්ජනය කෙළේය. 1941 ජූනි මස 22 දින හිට්ලර් රුසියාවට විරුද්ධව සටන් ඇරඹුවේය.


හිටිලර්ගේ රුසියන් ආක්‍රමණය දෙවන ලෝක සංග්‍රාම ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. හිට්ලර්ඕසිය ජීවිත කාලයේදී ලද විශාලතම පරාජය ලැබුයේ රුසියන් ආක්‍රමණයෙනි. මේ සිද්ධිය නිසා රුසියාවට මිත්‍ර පිලට සම්බන්ධ වීමේ ඉඩකඩ සැලසුණි. නාසි ධර්මයේ භයානකකම මෙන්ම එහි උපක්‍රමවල ස්වභාවය පිළිබඳවද අවබෝධයක් ලබා සිටි එකම තැනැත්තා ස්ටාලින්ය. චෙකෝස්ලෝවැකියාව ජර්මන් පාලනයට නතුවූ පසු නැගෙනහිර යුරෝපයේ නාසි පාලනය වැළැක්වීමට මිහිපිට කිසිවෙකු නොමැති බවත් මයින්කාම්ප් සිද්ධාන්තයන්ට අනුව රුසියාව නාසි ආක්‍රමණයට ගොදුරුවන බවත් ස්ටාලින් වටහාගෙන සිටියේය. එබැවින් 1936 සිටම ජර්මන් තර්ජනයට විශේෂයෙන්ම නාසි යුද්ධ වැඩ පිළිවෙලේ මූලික මාර්ගය වූ 'බිලිට්ෂ්ක්‍රීග්' උපායයන්ට මුහුණ දීමට තරම් පොහොසත් කමක් රුසියාවට ලබා දීම සඳහා ස්ටාලින් වෙහෙසුණේය.

රුසියාවේ ආර්ථික සංවර්ධන ව්‍යාපාරය යුද්ධ කටයුතු සඳහා සකස් කර ගැනීමට මෙන්ම බටහිර ප්‍රදේශවල වූ කම්හල් වඩාත් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙනයාම සඳහාද වේලාවක් ගතවේ. නාසි සෝවියට් ගිවිසුමේ අදහස මේ අවසරය ලබා ගැනීමයි. බිලිටිෂ්ක්‍රීග් උපායේ ප්‍රධාන ලක්ෂණය නම් ආක්‍රමණිකයා සතු විශාල බලය, විශේෂයෙන්ම යාන්ත්‍රික උපකරණ, සාමූහික වශයෙන් එක තැනකින්ම යොදවා සතුරාට පහරදීමයි. මෙවැනි ආක්‍රමණයකට මුහුණ දීම සඳහා තමන් සතු සියලු යුද්ධ බලය එක්වරම යෙදවූ බොහෝ රටවල් අඩපණ වී ගියේය. මේ බව දැන සිටි ස්ටාලින් ඊට හාත්පසින්ම වෙනස් වූ පියවරක් ගත්තේය. ඔහු විසින් කරන ලද්දේ ගම්. නගර, කම්හල් ආදිය විනාශ කරමින් පසු බැසීමයි. කිසිම විරෝධතාවක් නොලත් ජර්මන් හමුදාව ඉතා ඉක්මනින්ම ස්ටාලින් ග්‍රාඩ් නගරය තෙක් ඉදිරියටම ගමන් කළහ. විශාල ප්‍රදේශයක් පුරා ජර්මන් හමුදාව පැතිරී යාමෙන් සිදුවූයේ එහි සංවිධාන ශක්තිය දුර්වල වීමයි. ශීත සෘතුව එළඹෙන තෙක් බලාසිටි රුසියන් හමුදා ජර්මන් හමුදාවල දුර්වලකමින් ප්‍රයෝජන ගනිමින් ආපසු පහර දුන්හ. හිට්ලර්ගේ පරාජය ආරම්භ වූයේ රුසියානු ප්‍රති ප්‍රහාරයෙනි. 1942 දී රුසියාවේ ස්ටාලින් ග්‍රාච් සටනේදී ජර්මන් හමුදා භටයින් ලක්ෂ 15ක් ද කාලතුවක්කු 12,000ක්ද, යුද්ධ ටැංකි හා ප්‍රහාරක තුවක්කු තුන් දහස් පන්සීයක් ද, යුද ගුවන් යානා තුන් දහසක් ද, 1943 ගිම්හානයේ දින 50ක් පැවති කුර්සාක් නගර සටනින්, ජර්මන් සෙබලුන් ලක්ෂ 5ක්ද, යුද ටැංකි 1500ක්ද ක්ෂේත්‍ර කාල තුවක්කු තුන් දහසක් ද, ගුවන් යානා තුන් දහස් හත්සීයක් ද විනාශයට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017