ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ජාතීන්ගේ සංගමය සාර්ථකව කටයුතු නොකළ ලදින් එය අසාර්ථක වීමේ ලක්ෂණ මුල පටන්ම පැවතිණි. මුල් කාලයේ යම් යම් ජාතීන් අතර ඇතිවූ භේද නිරාකරනය කිරීමට මෙම සංගමය සමත් වුවද ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා තමන් මුලින් ගිවිසගත් පරිදි කටයුතු නොකළ නිසා ජාතීන්ගේ සංගමය අවසානයේදී අසාර්ථක වූයේය. ජපානය, ජර්මනිය, ඉතාලිය සහ රුසියාව යන ඒකාධිපති රාජ්‍යය පළවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව තම තමන්ගේ රාජ්‍යවල ඇතිවූ අඟහිඟකම් මකා දමා යළිත් අධිරාජ්‍යවාදීන් ලෙස කටයුතු කිරීමට අදහස් කර සිටියෝය. විශේෂයෙන්ම ජර්මනියේත්, ඉතාලියේත්, ජපානයේත් පරමාර්ථය වූයේ අධිරාජ්‍යයන් පිහිටුවා ගැනීමයි. ජර්මනිය හිට්ලර් යටතේත්, ඉතාලිය මුසෝලිනි යටතේත් ලෝක ආධිපත්‍යය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්න වූයෙන් ජාතීන්ගේ සංගමයට ඔවුන් දුන් පොරොන්දු එලෙසින්ම ඉටුකර ගැනීම අපහසු විය.
හිට්ලර් ප්‍රමුඛ නට්සි පක්ෂය යුරෝපා පාලනය පමණක් තමන් අතට ගැනීමට නොසිතුවේය. මුළු ලෝකයේම ආධිපත්‍යය ජර්මනිය යටතට ගැනීමට හිට්ලර් සිතුවේය. බටහිර ජාතීන් මෙම අවධිය වන විට රුසියාවේ පැන නැගුණු කොමියුනිස්ට් වාදයට බියක් ඇතිව සිටි සමයක් විය.
කොමියුනිස්ට් රුසියාව කෙරෙහි ප්‍රංශය හා එංගලන්තය වඩාත් සැකයෙන් සිටියේය. ජර්මනියේ හිට්ලර් හා ඉතාලියේ මුසෝලිනීද කොමියුනිස්ට් විරෝධීන් ලෙස පෙන්වීම නිසා බටහිර ජාතිහූ බටහිර යුරෝපය කොමියුනිස්ට් වාදයෙන් මුදාගත හැකි තැනැත්තා හිට්ලර් යයි විශ්වාස කළෝය. හිට්ලර්ගේ අදහස ලෝක ආධිපත්‍ය ලැබීම වුවත් ඉහත කී අදහස නිසා බටහිර ජාතීන් හිට්ලර් සැක නොකළේය. මේ අනුව 1933 එක් පිළකුත්, එංගලන්තය හා ප්‍රංශය තවත් පිළකුත් රුසියාව තනිවමත් යනුවෙන් පිල් තුනක් නිර්මාණ විය. පළමු ලෝක මහා සංග්‍රාමයට පෙර යුරෝපය කඳවුරු දෙකකට බෙදී තිබුණා මෙන්ම දෙවන ලොක මහා සංග්‍රාමයට පෙරද යුරෝපය කඳවුරු කීපයකට බෙදී තිබුණි. මෙවැනි පසුබිමක් තිබෙනුයේ නම් එකිනෙකා පරදවමින් බලය ලබා ගැනීමට ඕනෑම අවස්ථාවකදී එකී ජාතීන් කටයුතු කරන බව විශ්මයක් නොවේ. ඈත පෙරදිග ජපානය සම්බන්ධවද දෙවන ලෝක යුද්ධය පිළිබඳව සාකච්ඡාකර බැලීමේදී විමසිය යුතුය. ජපානය අධිරාජ්‍යවාදී ලෙස කටයුතු කරනු චීනයේ ප්‍රදේශ කීපයකුත් මැන්චුරියාව හා තවත් ප්‍රදේශ කීපයකුත් ඇත. පෙරදිගින් ඈදා ගැනීමෙන් දැකිය හැකිය. ජපානයේ අභිමතය වූයේ මුළු පෙරදිග බලය තමන් යටතට ගැනීමයි. ජපානය චීනයේ ප්‍රදේශ ලබා ගැනීමෙන් චීනය ජාතීන්ගේ සංගමයේ ආධාර පැතුවද ජාතීන්ගේ සංගමය ඒ පිළිබඳව නිහඩවීමෙන් සිදුවූයේ ජපානය තම අධිරාජ්‍යවාදී කටයුතු කාගේත් විරුද්ධතාවයක් නොමැතිව කරගෙන යාමයි. ජපානයේ මෙම ක්‍රියා කලාපයද දෙවන ලෝක මහා සංග්‍රාමයට එක හේතුවක් වුණු අතර ජපානය ජාතීන්ගේ සංගමයෙන්ද ඉල්ලා අස්විය. මෙම සමය වනවිට හිට්ලර්ගේ යටි හිතේ පැවති අපේක්ෂාව වූයේ යුද හමුදා ගොඩනංවා ජර්මනියේ ආර්ථික මෙන්ම යුද ශකතියද නංවාලීම වුවද, ඔහු ලොවට ප්‍රකාශ කළේ තමා සාමය අගය කරන බවයි. එම හේතුව නිසා ඔහු ලෝක නිරායුධ සම්මේලනයෙන්ද ඉවත් වූයේය. ඔහුගේ යටි අදහස වූයේ වර්සේල්ස් ගිවිසුමේ කොන්දේසි කඩකර ජර්මනියට අහිමි වූ ප්‍රදේශ නැවත ලබා ගැනීමයි. 1934 ඔහු පෝලන්තය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් මුළු යුරෝපයම මුලා කළේය. 1935 දී සාර් නිම්න වැසියෝ ජර්මනියට එක්වීමෙන් වර්සේල්ස් ගිවිසුමට අනුව එන කොන්දේසියක් බිඳීමට නිතැතින්ම කැකිවිය. 1936 දී හිට්ලර් රයින්ලන්තය අත්පත් කර ගත්තේය. ඇත්තෙන්ම බටහිර ජාතීහු හිට්ලර් ගැන ඒ වන විටත් සැක නොකළහ. බ්‍රිතාන්‍ය සමඟ නාවික ගිවිසුමක් හිට්ලර් අත්සන් කළ නිසා ඔවුහු ඔහු කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබූහ.
හිට්ලර්ගේ ක්‍රියා කලාපය නිසා නිහඩවුණ රුසියාව ජාතීන්ගේ සංගමයට බැදුණි. හිට්ලර් රයින්ලන්තයේ යුද්ධ ආයුධ තැනවීමත්, යුද හමුදා ගොඩ නැංවීමත් නිසා රුසියාව ජර්මනිය දෙස බැලුවේ තරමක් දුරට සැකයෙනි. 1936න් පසුව ඉතාලියේ බලයට පත්ව සිටි ෆැසිස්ට් නායක මුසෝලිනි අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද සෑම කරුණකදීම හිට්ලර්ගේ සහාය සෙවීම නිසා ජර්මන් ඉතාලි මිත්‍රත්වය වඩාත් දැඩි වු බව පෙනේ. ඉතාලියේ දක්ෂතාවය නිසා හිට්ලර් වඩාත් ශක්තිමත් වු අතර මුසෝලිනීද කල්පනා කළේ තම අධිරාජ්‍යය වැඩි දියුණු කර ගැනීමටයි. එම අවධියේදිම ෆැසිස්ට් නායකයාවූ 'ෆ්‍රැන්කෝට' බලයට පැමිණීමට ආධාර දුනි.
මින් පෙනී යනුයේ ජර්මනියේ හා ඉතාලියේ වැඩි බලයයි. පෙරදිග ප්‍රදේශවල බලය ලබාගැනීමට මාන බලමින් සිටි ජපානය කොමියුනිස්ට් විරෝධි දෙපිලක් වු ඉතාලිය හා ජර්මනියට එකතු විය. ජර්මන්, ජපන්, ඉතාලි, ගිවිසුමක් ඇතිවූයේද මේ නිසාය. (රෝම, බර්ලින්, ටෝකියෝ අක්ෂය) ජපනුන් 1932 දී මැන්චූරියාවටත් 1937 දී චීනයටත් පහර ගැසීය. ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කළේය. ත්‍රිවිධ ඒකාධිපති අධිරාජ්‍යවාදීන් මෙලෙසින් කටයුතු කරද්දී, හිට්ලර්ගේ ඊළඟ ප්‍රහාරය එල්ල වූයේ ඕස්ට්‍රියාව දෙසටය. ඕස්ට්‍රියාව ආක්‍රණය කිරීමට ඔහු වඩාත් පෙළඹුණේ එය ජාතිවාදි ක්‍රියාවක් ලෙස කල්පනා කළ හෙයිනි. ඕස්ට්‍රියන් ජර්මන් දෙජාතියම සම වංශිකයන් වු හෙයින්, ඕස්ට්‍රියා ඈඳා ගැනීම තම ජාතිය නංවාලීම සඳහා කළහැකි වැදගත් කාර්යයක් යැයි නාසි නායකයා කල්පනා කළේය. වර්සේල්ස් ගිවිසුමට පිටුපා ඕස්ට්‍රියාව ආක්‍රමණය කළ මොහු ඕස්ට්‍රියාවේද නට්සි පක්ෂයේ බලය වැඩි දියුණු කර ගත්තේය. ඕස්ට්‍රියන් ජනාධිපති බිය වැද්දීමෙන් අනතුරුව ඕස්ට්‍රියාව, ජර්මනිය හා එක් කළේය. හිට්ලර්ගේ ඕස්ට්‍රියන් ආක්‍රමණයට කෙලින්ම විරුද්ධ වූ මුසෝලිනී පසුව එම පිළවෙත අත්හැර දැමීමේ බටහිර ජාතීන්ගේ උදාසීනත්වය හා නාසි ජර්මනියේ යුද්ධ ශක්තිය අවබෝධ කර ගැනීමෙනි.
