1919 වර්සේල්ස් ගිවිසුම
 

1918 නොවැම්බර් මාසය වන විට යුද්ධය අවසන් වන ලකුණු පහළ විය. මධ්‍යම බලවතුන් පරාජයට පත්වූ අතර මිත්‍ර පාක්ෂිකයන්ට ජය අත් විය. මෙහි ප්‍රතිඵලය ලැබෙනවිට ලෝකය මහත් ව්‍යවසනයකට බදුන් වී තිබුණි. මිලියන සංඛ්‍යාවක් මිනිස්සු මරණයට පත්වූහ. එවැනිම සංඛ්‍යාවක් අංග විකල වූවෝ වූහ. දේපොළ මෙන්ම භොතික සම්පත් විශාල වශයෙන් විනාශ වී ගියේය. කෙසේ වෙතත් යුද්ධය අවසන් වූයේ ජයග්‍රාහි රාජ්‍යයන් ජර්මනිය සමඟ 1919 දී වර්සේල්ස් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය.


පළවන ලෝක යුද්ධයෙන් පසුව මිත්‍ර ජාතීන්ට ප්‍රශ්න කීපයකට මුහුණ දීමට සිදුවිය. යුද්ධයට වැරදිකරු කවුද? ඔහුට දඩුවම් දෙන්නේ කෙසේද? අවුල්වූ යුරෝපය යළිත් ප්‍රතිසංස්කරණය කරන්නේ කෙබඳු ආකාරයටද? ජාත්‍යන්තර සාමය ඇති කළ හැක්කේ කෙසේද යන මේවා වර්සේල්ස් සමුළු කරුවන් හමුවේ තිබූ ප්‍රශ්නයි. ජර්මන් ඕස්ට්‍රියන් සංවිධාන කෙරෙහි මිත්‍ර ජාතීන්ගේ සිත් තුළ පැවතියේ වෛරයකි. ජර්මනිය මිලේච්ඡයකු බවද, ශිෂ්ඨාචාරය විනාශ කළ බවද ඔවුහු කල්පනා කළෝය. ඒ අනුව වර්සේල්ස් ගිවිසුම වෛරයත් පලිගැනීමත් අරමුණු කොට ඇතිකර ගත් එකක් බව දැකිය හැකිය.

මෙම සාම සම්මේලනයේ මධ්‍යස්ථානය වූයේ පැරීසියයි. සමුළුවට සහභාගි වූවන් වූයේ එංගලන්තයේ අගමැති ලොයිඩ් ජෝජ්, ප්‍රංශ අගමැති ක්ලෙමන් සෝ, ඉතාලි අගමැති ඕලැන්ඩෝ සහ ඇමරිකන් ජනාධිපති වුඩ් රෝ විල්සන් යන සිව්දෙනාය. සමුළු කරුවන් සාකච්ඡා පවත්වන අතර 'ජර්මනියෙන් වන්දි ගනු' යයි සටන්පාඨ කියමින්ද පැරීසිය පුරා පෙළපාලි පැවැත්වූ බවද සඳහන්වේ. පැරිස් සම්මේලනය විසින් පැරදුණු ජාතීන් පහ සමඟ ගිවිසුම් පහක් අත්සන් කරන ලදී. ජර්මනිය සමඟ වර්සේල්ස් ගිවිසුමත්, ඕස්ට්‍රියාව සමඟ සෙන්ටි ජර්මේන් ගිවිසුමත්, හංගේරියාව සමඟ ටුයනොන් ගිවිසුමත්, බල්ගේරියාව සමඟ නියුලී ගිවිසුමත්, තුර්කිය සමඟ සිව් රේ ගිවිසුමත් අත්සන් කරනු ලැබිණි. මේවාට නම් දෙනු ලැබුවේ පැරිසිය අවට තිබූ ස්ථාන ආශ්‍රය කොටගෙනය.

ජර්මනිය යුද්ධයට වැරදි කරුවා යයි තීරණය කළ බැවින්, යළිත් එරටට යුද්ධමය ක්‍රියා කලාපයක් අනුගමනය කිරීමට ඉඩ නොදෙනු පිණිස බරපතල දඩුවමක් දීමට කටයුතු කළේය. ඇල්සේස් - ලොරේන් පළාත් දෙක ආපසු ප්‍රංශයට ලබාදුණි. අවුරුදු 15 ක් යනතුරු සාර් නිම්නයේ අඟුරු කෙත් පාවිච්චි කිරීමේ බලය ප්‍රංශයට හිමිවිය. රයින් ප්‍රදේශය නිදහස් ප්‍රදේශයක් ලෙස සලකන ලදී. ශේල්විග් ප්‍රදේශය ඩෙන්මාර්කයට යළිත් ලබා දුනි. ජර්මනියේ නැගෙනහිර දේශ සීමාව ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවිය. මෙම කොටක්සේ ස්ලාවි ජාතිකයන් හා ජර්මන් ජාතිකයන් යන පිරිස් දෙකම විසූහ.

එහෙත් නව පෝලන්තයන් තැනීමේදී ඩැන්සිග් වරාය එයට දීමත්, ඩැන්සිග් නගරය පෝලන්තයට එක් කිරීමත් දැකිය හැකිය. පොලන්තයේ සිට ඩැන්සිග් දක්වා ඇති බිම් තීරුවේ සිටින්නේ ජර්මන් වංශිකයින්ය. ජර්මනියට ඕස්ට්‍රියාව සමඟ එක්සත් වීම තහනම් කරන ලදී. සුඩෙන්ටන්ලන්තය නම් ජර්මන් පළාත (බොහිමියාව) චෙකොස්ලෝවැකියාවට භාර දෙන ලදී. ජර්මන් නාවික හමුදාව විනාශ කරනු ලැබිණි. ඉතා කුඩා ආරක්ෂක හමුදාවක් පමණක් තබා ගැනීමට ජර්මනියට ඉඩ දුනි. කීල් ඇළ සාමකාමිව ඒ් ඒ ජාතීන්ට කටයුතු කළ හැකි එකක් බවට පත් කළ අතර රයින් ගඟේ නැව් ගමනාගමනය ජාත්‍යන්තරව කිරීමට ඉඩදුනි. ජර්මන් යටත් විජිත සියල්ලම එරටට අහිමි කළේය. එපමණක් නොව ජර්මනියට වෙළඳාම් කිරීමේ අයිතිය පවා අහිමි විය. ජර්මන් නැව්, දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි ආදියෙන් රාශියක්ද, ජර්මන් ගල් අඟුරුවලින් බොහොමයක්ද මිත්‍ර ජාතීන් අතර බෙදා ගන්නා ලදී. මිත්‍ර ජාතීන්ගේ යුද්ධ හමුදාවක් කලක් ගතවෙන තුරු රයින්ලන්තය - එනම් ප්‍රංශයට යාබඳ ජර්මන් ප්‍රදේශ අල්ලා ගෙන සිටිය යුතුය යනු සාම ගිවිසුමේ එක් කොන්දේසියක් විය. යුද්ධ කාලයේදී ජර්මන් සේනා කළ හානියට වන්දි වශයෙන් ජර්මනිය විසින් මිත්‍ර ජාතීන්ට විශාල මුදලක් (මේ මුදල කොපමණදැයි ජර්මනියට කවදාවත්ම දැනුම් නොදෙන ලදී) ගෙවිය යුතු විය. ප්‍රංශයේ බොහෝ විශාල ප්‍රදේශවලට හානි වී තිබුණු බැවින් ලොකුම මුදල ගෙවන ලද්දේ එරටටයි.


ඇත්තෙන්ම වර්සේල්ස් ගිවිසුමින් කළේ ජර්මනියේ යළිත් ඒකාධපතිත්වය ඇති නොවීමට පිළියම් යෙදීමකි.

(c) Shilpa Sayura Foundation 2006-2017