මිත්‍ර ජාතීන්ට ජය අත්වීමටත් ජර්මනිය පරාජය වීමටත් හේතු
 

පළවන ලෝක මහා සංග්‍රාමය දෙස බලනවිට ජර්මන් ඕස්ට්‍රියන් තුර්කි සංවිධානය පැරදීම එතරම් පුදුමයක් සේ ගණන් ගත නොහැකිය. පළමු ලෝක යුද්ධය ඇරඹුණු අවධියේදීම බටහිර පෙරමුණේ තමන් සිතූ පරිදි ජය ලබා ගැනීමට ජර්මනුන්ට අපහසු වුණ බව හොඳින්ම පැහැදිලි වේ. ජර්මනියේ අදහස වූයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද සූදානමක නොසිටි බවය. ඇත්ත වශයෙන්ම පැරිසියට පහර එල්ල කිරීමට ප්‍රථම බෙල්ජියමේදී බෙල්ජියම් හමුදාව විසින් දක්ෂ ලෙස සටන් නොකෙළේ නම් ජර්මනිය බටහිර පෙරමුණේ යුද්ඒයේ මුල් අවස්ථාවේදීම ජය ලබනු නියතය. එහෙත් ජර්මනිය පසු බැස්සීමට තරම් ධෛර්යයකින් යුක්තව කුඩා බෙල්ජියම් හමුදාව සටන් වැදීම මිත්‍ර පාක්‍ෂිකයින්ට යුද්ධයට සූදානම් වීමට අවශ්‍ය අවස්ථාව සපයා දුන්නේය. නැගෙනහිර පෙරමුණේ සටන් දෙස බලන විට රුසියාවේ දුබලත්වය නිසා රුසියන් හමුදා පසු බැස්වීමෙන් ජර්මනියට නියත ජයක් ලැබුණි. එහෙත් ලෝක සංග්‍රාමයකින් දිනීමට නම් එය පෙරමුණක පමණක් සටන් දිනීමෙන් පමණක් එය කළ නොහැක්කකි.


යුද්ධයේ ඊළඟ අවස්ථාවන් දෙස බලනවිට රුසියාව යුද්ධයෙන් ඉවත් වුණත් ජර්මනියේ ප්‍රධාන සතුරන් ලෙස එංගලන්තය හා ප්‍රංශය පැවතුණි. ඉංග්‍රීසීන්ගේ යුද්ධ බලය හා සේනා බලය ලෝකය පුරාම පැතිර තිබුණු බව මේ වන විට පෙනී යන්නකි. එහෙත් මේ සියල්ල එක්තැන් කිරීමට සුදුසු කාලය මිත්‍ර පක්ෂයට නොඅඩුව ලැබුණි. එංගලන්තය හා ප්‍රංශය මෙම සේනා හා අවි ආයුධ එක්තැන් කිරීමට ප්‍රථම ජර්මනිය පැරීසිය අල්ලා ගත්තේ නම් එමෙන්ම එංගලන්තය පරාජය කළේ නම් පළමු ලෝක සංග්‍රාමයේ තීරණාත්මක ජය ජර්මනියට අත්වනු නියතය.

එහෙත් ජර්මන් ක්‍රියා කලාපය නිසා විශේෂයෙන්ම දෙවන විලියම් කයිසර් රජුගේ නොමනා අපේක්ෂාවන් නිසා බටහිර පෙරමුණේ සටන එතරම් පහසු නොවීය. කාලයක් තිස්සේ කළ යුතු දුෂ්කර සටනක් බවට මෙය පත්වුණි. ජර්මන් සෙන්පතියන්ගේ හොරකම් වලින් ප්‍රයේජන ගැනීමට එංගලන්තය ප්‍රංශ පිලට හැකිවූයෙන් පැරීසිය ආරක්ෂා කර ගැනීමට පුළුවන් සෑම උත්සහායක්ම මිත්‍ර පක්ෂය විසින් ගනු ලැබිණි. මේ නිසා ජර්මනියට බටහිර පෙරමුණේදී හදිසි ජයක් ලැබීම අපහසු විය.

1916 පමණ වන විට ජර්මන් යටත් විජිත සියල්ලම මිත්‍ර පක්ෂය අතට පත් වීමෙන් ජර්මනිෙය් පරාජය දෙස බලන විට 1916 වර්ෂය ඉතා වැදගත් එකක් ලෙස පෙනේ. ජර්මන් නාවික හමුදාව 'ජට්ලර්' සටනින් පරාජය වීම ජර්මනියේ නාවුක පරාජයේ අවසානය ලෙස ගිණිය හැකිය. ලෝක සංග්‍රාමයේදී මහත් පරාජයක් ලැබීමට ජර්මනිෙය් නාවික ශක්තිය පිරිහීමද හේතුවිය. ඉන්පසුව ජර්මනිය විසින් සබ්මැරීම් මඟින් නැව් ගිල්ලවීමට පටන් ගැනීම නිසා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි අැමරිකාව යුද්ධයට කැඳවීමක් බදු විය. ජර්මනුන් විසින් ගිල්වූයේ ප්‍රංශ හෝ එංගලන්ත නැව් පමණක් නොවේ. ඇමරිකාවට අයත් නැව් කීපයක්ම ජර්මනුන් විසින් ගිල්වන ලදී. එමෙන්ම ඇමරිකාව මධ්‍යස්ථ නොවුවහොත් ජපානය හා මෙක්සිකෝව ලවා ඇමරිකාවට පහර දීමට අදහස් කිරීමෙන් ජර්මනිය ඇමරිකාව තවත් උරණ වූයේය. මෙම සබ්මැරීන් ක්‍රියා කලාපය ජර්මනුන්ගේ අවසානය ළඟා කර දුන් තවත් සිද්ධියක් ලෙස මනාව පැහැදිලිවේ. යුද්ධය මුලදී ප්‍රංශ හා එංගලන්ත හමුදාවන්හි තත්ත්වය පිරිහී තිබුණි. ඔවුනට නව පණක් දෙනු ලැබුවේ ඇමරිකාවයි. ඇමරිකන් ආධාර ලැබූ මිත්‍ර පක්ෂය නිසා ජර්මන් පරාජය අත ළඟම විය. කෑම හිඟකම, අවි ආයුධ හිඟකම නිසා යුධ හමුදාවේ ධෛර්යයද පිරිහුණි. යුද්ධ හමුදාවට කලින් සාමාන්‍ය ජනතාව යුද්ධය පිළිබඳව කලකිරී සිටියෝය.

එපමණක් නොව ජර්මනිය සම්බන්ධව තිබූ අවාසි දෙස බලන විට වැඩීගෙන එන ඇමරිකන් ආධාර ඉදිරියේ නැවක දියත් කිරීම සිය පණ නසා ගැනීමක් වූ බව ජර්මන් පරාජය දෙස බලන විට පෙනී යන්නකි. එමෙන්ම ඉතාලිය වික්ටෝරියෝ වෙනිටෝ සටනින් ඕස්ට්‍රියාව සම්පූර්ණයෙන්ම පරාජය කළේය. 1918 සැප්තැම්බර් මස බල්ගේරියාව යටත් විය. මේ අනුව බලන විට ජර්මන් ඕස්ට්‍රියන් පිල 1918 වනවිට මිත්‍ර ජාතීන් වෙතින් පරාජය වී ඇතිබව පැහැදිලිය. 1918 දී ජර්මනියට තවත් අවාසි වෙන පරිදි ජර්මන් නාවික හමුදාව කැරැල්ලක් ආරම්භ කළේය. මෙම කැරැල්ල යුද හමුදාව වෙතටද පසුව සාමාන්‍ය ජනතාව වෙතටද පැතිර ගියේය. මේ අනුව ජර්මනිය ඇත‍ළත සිවිල් යුද්ධයක් හටගත්තේය. ලෝක ආධිපත්‍යය පතා සටන් කළ ජර්මනුන් අවසානයේදී තමන්ගේ රටතුළ කුලල් කා ගැනීම් ජර්මන් පරාජයේ තීරණාත්මක අවස්ථාව විය. දෙවන විලියම් කයිසර් රජු රට හැර පලා ගියේය. ජර්මනියේ සමූහ ආණ්ඩුවක් පිහිටුවන ලදී. 1918 නොවැම්බර් මස ජර්මනිය කොන්දේසි විරහිතව මිත්‍ර ජාතීන්ට යටත් විය. පළවන ලෝක සංග්‍රාමයෙන් ජර්මනිය ප්‍රමුඛ පිල පරාජය වීමටත් ප්‍රංශ එංගලන්ත පිල ජයග්‍රහණය කිරීමටත් හේතු මේ අයුරින් පෙන්වා දිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017