පළමුවන ලෝක සංග්‍රාමය කෙරී ගෙන ගිය ආකාරය දෙස බලන විට එංගලන්තය හා ප්‍රංශය මුල් අවධියේදී එතරම් ශක්තිමත් නොවුණු බව පෙනී යයි. එංගලන්තයේ මිනිස් බලය, ධන බලය යුද්ධයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ලෝකය පුරාම විසිරී තිබූ බැවින් ඒවා ඒකරාශි කිරීම එතරම් පහසු නොවීය. ඇත්ත වශයෙන්ම ලෝක යුද්ධයක් ඇති කිරීමට කිසිසේත්ම කැමැත්තක් එංගලන්තය තුළ නොවීය. එමෙන්ම ජර්මනිය සමඟ සාමකාමිව කටයුතු කිරීමට ජර්මනිය බෙල්ජියම ආක්‍රමණය කරන තෙක්ම එංගලන්තය උත්සාහ ගත්තේය. ජර්මනුන් මේ බව හොඳින්ම දැන සිටියේය. උතුරු මුහුදේ නාවික බලය ලැබීමට නම් ප්‍රංශය පරාජය කිරීමට අවශ්‍ය බවද ජර්මනුන් වටහා ගත්තෝය. පැරීසිය අල්ලා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. නමුත් නැගෙනහිර ප්‍රංශ දේශ සීමාවේ බැඳ තිබූ බලකොටු නිසා කෙලින්ම ප්‍රංශයට පහර දීම දුෂ්කර විය. පහර දෙතොත් හමුදා එවිය යුත්තේ බෙල්ජියම හා ලක්සම්බර්ග් ප්‍රදේශය හරහා බව ඔවුහු වටහා ගත්හ. බෙල්ජියම ආක්‍රමණය කිරීම බ්‍රිතාන්‍යය කුපිත කරවන්නක් බව ජර්මනිය කල්පනා කළද, ජයග්‍රහණය කෙසේ හෝ ලබාගැනීමට සිතා සිටි ජර්මන්නු බෙල්ජියම ආක්‍රමණය කළහ. ජර්මනිය නොසිතූ දෙයක් මෙතැනදී සිදු විය. කුඩා බෙල්ජියම් හමුදාව ඊට වඩා කීප ගුණයකින් විශාල වු ජර්මන් හමුදාව සමඟ දක්ෂ ලෙස සටන් කරන්නට වූයෙන් ජර්මන් හමුදාවේ ජයග්‍රහණය පමා විය. මෙම අවසරය නිසා ප්‍රංශ ඉංග්‍රිසි හමුදාවන්ට සූදානම් වීමේ අවස්ථාව ලැබිණි.
ජර්මන් සෙන්පතියන්ගේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගත් ඔවුන් පැරීසිය ආරක්ෂා කර ගත්තෙන් බටහිර පෙරමුණෙහි හදිසි ජයග්‍රහණයක් ලබා ගැනීමට ජර්මනියට අපහසු විය. බටහිර පෙරමුණේ යුද්ධය වසර ගණනක් තිස්සේම මඩ අගල්වල ලඟිමින් කළ යුතු වූ දීර්ඝ සටනක් බවට පෙරළුණි. නැගෙනහිර පෙරමුණේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් විය. රුසියානුවෝ මුලදී විශිෂ්ඨ ජයග්‍රහණ කීපයක් ලබාගත්හ. එහෙත් ඒ වන විට රුසියාවේ ආර්ථික, දේශපාලනික, සාමාජික නොසන්සුන්තාවය නිසා යුද්ධයේදී තරමක් පසු බසින්නට විය. එයට හේතුව වූයේ සාර් ආණ්ඩුවේ දුර්වලත්වයයි. හේවායන්ට උවමනා අවි ආයුධ, බෙහෙත් උපකරණ කෑම බීම හිඟ වීමෙන් හමුදාව දුර්වල වී කැරළි ඇතිවිය. ජර්මනුන්ගේ ප්‍රහාර වලින් රුසියානුවෝ පසුබසින්නට වූහ. ඒ අතරතුරදීම රුසියාවේ බෝල්ෂේවික් විප්ලවය ඇතිවිය. ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් ඉවත් වූ රුසියානුවෝ 1917 දී ජර්මනිය සමඟ 'බ්‍රෙස්ට්-ලියොවිස්ක්' සාම ගිවිසුම අත්සන් කළහ. රුසියාවේ පරාජය නිසා නැගෙනහිර පෙරමුණේ හමුදා බටහිර පෙරමුණට යැවීමට ජර්මනුන්ට හැකි විය. මැද පෙරදිග ප්‍රදේශ ගෙන බලන විටද, ඉතාලිය ඕස්ට්‍රිවට විරුද්ධව යුධ වැදුණු බවත්, බෝල්කන් ජාතීන් සෑම දෙනෙක්ම පාහේ යුද්ධයේ පිල් දෙකට එකතු වී සටන් කළ පෙනී යන අතර මැද පෙරදිග ප්‍රදේශවල තීරණාත්මක ජයක් කිසිවකුටත් නොලැබුණු බව දැකිය හැකිය.
1916 කරුණු දෙකක් නිසා වැදගත්ය. ජර්මන් යටත් විජිත සියල්ලම බ්‍රිතාන්‍ය යටතට පත්වීම එක් වැදගත් කරුණකි. ජර්මන් නාවික හමුදාව ජටිලන්ඩ් සටනින් අන්ත පරාජයට පත්වීම තවත් වැදගත් කරුණකි. මුහුද මතුපිට කරන සටනින් ජයග්‍රහණය කිරීම අසීරු බව දැනගත් ජර්මනිය, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විරුද්ධවාදී පිලට මුහුණ දීමට සබ්මැරීන් මගින් නැව් ගිල්ලවීමට ක්‍රියා කළේය. මෙයින් බ්‍රිතාන්‍ය නැව් වලට බරපතල හානි සිදුවිය. ඇත්තෙන්ම ජර්මනුන්ගේ පරාජයට මෙය වැදගත් හේතුවක් වූ බව සබ්මැරීන් මඟින් නැව් ගිල්වීමේ ක්‍රියා කලාපය විමසා බැලීමෙන් පැහැදිලි වේ. සීමා රහිත ලෙස සෑම නැවක්ම ගිල්ලීමේ ප්‍රතිපත්තිය නිසා එතෙක් මධ්‍යස්ථව සිටි ඇමරිකා එක්සත් ජනපදය ජර්මනියට විරුද්ධව එංගලන්තයේ ඇති වූ මිත්‍ර පිලට වැදී සටන් කිරීමට පටන් ගත්තේය. ඇමරිකාව යුද්ධයට පැටලීමට හේතුව වූයේ ඇමරිකන් රට වැසියන් යාත්‍රාකළ 'ලුසිටේනිසා' නැව ගිල්වීමයි.
ඇමරිකාව මධ්‍යස්ථ නොවුණ හොත් ජපානය හා මෙක්සිකෝව ලවා ඒ රටට පහර දීමේ කුමන්ත්‍රණයක් ජර්මනිය විසින් ඇති කරන ලදී. මේ පිළිබඳ රහස් උපදෙස් සහිත විදුලි පුවත බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාවට ඉදිරිපත් කරන ලදී. මේ නිසා වඩාත් කිපුණු ඇමරිකාව ජර්මනියට විරුද්ධව මිත්‍ර පිලට බැඳී සටන් කිරීම ජර්මානුවන්ගේ අවසන් පරාජයට හේතු විය. මිත්‍ර පාක්‍ෂිකයන්ට ඇමරිකාවෙන් ලැබූ අසීමිත ආධාරය නිසා ජර්මනිය පරාජය වූ බව ඉතිහාසඥයන්ගේ ද මතය වේ. මිනිස් බලය, යුද්ධෝපකරණ, මි මුදල් ඇමරිකාවෙන් මිත්‍ර පාර්ශවයට ලැබුණි. එමෙන්ම ඉතාලිය වික්ටෝරියෝ වෙනිටෝ සටනින් ඕස්ට්‍රියාව පරාජය කළේය. මේ අනුව එකින් එක රටවල් මිත්‍ර ජාතීන්ට යටත් විය. 1918 සැප්තැම්බර් මස බල්ගේරියාවද, 1918 නොවැම්බර් මස ඕස්ට්‍රියාවද යටත් වූයෙන් ජර්මනියේද නාවික හමුදාවේ සහ අභ්‍යන්තරයේ කැරළි ඇතිවීමෙන් දෙවන විලියම් කයිසර් රජු ජර්මනියෙන් පලායාම ජර්මන් පරාජයට තවත් හේතුවක් විය. 1918 නොවැම්බර් මස 11 වන දින ජර්මනිය කොන්දේසි රහිතව යටත් වීමේ ආඥාව පිළිගත්තේය. 1914 දී ආරම්භ වී 1919 දක්වා පැවතුණු පළමු ලෝක මහා සංග්‍රාමය ජර්මන් පිල පරාජය වීමෙන් නිමාවට පත්විය.