පළමුවන ලෝක මහා සංග්‍රාමය ආරම්භය
 


පළමුවන ලෝක මහා සංග්‍රාමය කරා ගමන් ගත් ප්‍රධාන යුගය ලෙස 1904-1914 දක්වා කාලය හැඳින්විය හැකිය. 1870 දී එක්සත් වූ ජර්මනිය බිස්මාක් බලයෙන් පහවීමෙන් අනතුරුව යටත් විජිත කටයුතු වල නිරත විය. 11වන කයිසර් විලියම් ගේ අපේක්ෂාව වූයේ ජර්මනිය මුළු යුරෝපයේම බලගතු රාජ්‍ය කිරීමයි. ඒ නිසා ඔහු අනුගමනය කළ ක්‍රියා කලාපය දෙස බලන විට යුරෝපය කඳවුරු දෙකකට බෙදීමේ හැකියාවක් දක්නට ලැබේ. මේ අනුව පළමුවන ලෝක යුද්ධයට මුල්ම වරද කරුවා ජර්මනිය බව පෙන්වා දිය හැකිය. 1870 දී ජර්මනියේ බලාපොරොත්තුව වූයේ ප්‍රංශය හා එංගලන්තයත්, එංගලන්තය හා රුසියාවත් කිසි දිනෙක එකතු නොවේය යන්නයි. එහෙත් අග්නිදිග යුරෝපයේ රටවල ජර්මනියේ ක්‍රියා කලාපය අප්‍රිකාවේ ජර්මන් ප්‍රංශ ගැටුම, අග්නිදිග යුරෝපයේ ඕස්ට්‍රියන් ක්‍රියා කලාපය හා ජාතිවාදී, නිදහස්වාදී සංකල්ප අග්නිදිග යුරෝපයේ වර්ධනය වීම, බ්‍රිතාන්‍යය ජර්මන් නාවික තරඟය යනාදි කරුණු දෙස බලන විට පළමුවන ලෝක යුද්ධයට දීර්ඝ කාලීන හේතු තිබූ බව දැකිය හැකිය.

අප්‍රිකාව 1870න් පසුව යුරෝපා ජාතීන්ට යටත් ප්‍රදේශ ගණනාවකින් යුක්ත විය. 1888 මැඩ්රිඩ් තීරණයන්ට එකඟව කටයුතු නොකොට ජර්මනියේ වැඩි බලයක් මොරොක්කෝව සම්බන්ධව ලබා ගැනීමට යාම නියම අයිතිකරුවන් වූ ප්‍රංශයේ විරුද්ධත්වයට හේතු විය. මොරොක්කෝවට ඇති ප්‍රංශ අයිතිය බ්‍රිතාන්‍යයන් ප්‍රසිද්ධියේම පිළිගෙන තිබුණු නිසා එංගලන්තයද ජර්මනිය හා විරුද්ධ විය. ඇත්ත වශයෙන්ම මොරොක්කෝ ප්‍රශ්නය නිසා ප්‍රංශය හා එංගලන්තය මිත්‍රව කටයුතු කළ අයුරු දක්නට ලැබේ. එමෙන්ම 1898 දී එංගලන්තය හා ලන්දේසින් අතර ඇතිවුණු දකුණු අප්‍රිකාවේ සටනකදී එංගලන්තයේ ජයග්‍රහණය කෙරෙහි විරුද්ධ වූ ජර්මනිය ලන්දේසින්ගේ ජයග්‍රහණය පතා සුබ පතමින් විදුලි පණිවුඩයක් එවීම ජර්මනිය හා එංගලන්තය අතර විරුද්ධත්වයට තවත් හේතුවක් විය. 19 වන සියවසේ අගභාගය වන තුරු හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි එංගලන්තය මෙකී ජර්මන් විරෝධි කටයුතු නිසාත් විශේෂයෙන්ම ඕස්ට්‍රියාව ජර්මනිය හා තුර්කිය එකතුව එක් පිලක් වීම නිසාත් තම හුදකලා ප්‍රතිපත්තිය අවසන් කිරීමට ඉටා ගත්තේය. මේ අනුව ජර්මන් විරෝධි කඳවුරක් යුරෝපයේ ඇතිවීම දක්නට ලැබේ.

බිස්මාක් බලාපොරොත්තු වූ පරිදි කිසි දිනෙක ප්‍රංශය හා රුසියාව එක් නොවේය යන මතයද 1894 දී ප්‍රංශය හා රුසියාව මිත්‍ර ගිවිසුමකට මැදි වීමෙන් වෙනස් වී තිබුණි. එමෙන්ම එවකට ඈත පෙරදිග කටයුතු වල පැවති නොසන්සුන් තත්ත්වය නිසා ජපානය මිතුරෙකු සොයමින් සිටියෙන් එංගලන්තය ජපානය වෙතට හැරුණි. මේ නිසා 1902 දී ජපන් එංගලන්ත ගිවිසුම ඇතිවිය. යුරෝපයේ බලය පමණක් නොව මුළු ලෝක ආධිපත්‍යයම ලබා ගැනීමට කටයුතු කරමින් සිටි දෙවන විලියම් කයිසර් රජතුමා විශේෂයෙන්ම මේ වන විට තුර්කියේ තම බලය තහවුරු කර ගෙන සිටියේය. එමෙන්ම ඒ වන විට වැදගත් රාජ්‍යයක් වූ ඕස්ට්‍රියාවද පිරිහී ගිය තුර්කි අධිරාජ්‍ය කෙරෙහි අවධානය වඩාත් යොමු කළේය. 1895 කීල් ඇළ කැපීම හේතුවෙන් බෝල්ටික් මුහුදේ සහ උතුරු මුහුදේ අාධිපත්‍යයද ජර්මානුවන්ට නිතැතින්ම හිමි විය. මේ අනුව මැද පෙරදිග ප්‍රදේශ කෙරෙහි ඕස්ට්‍රියාවේ හා ජර්මනියේ බලය වැඩි දියුණු වූ බව හොඳින්ම පැහැදිලි වේ.

මෙම පිල් තහවුරු වීමට වඩාත් හේතු වූයේ ඕස්ට්‍රියාවේ හා ජර්මනියේ ක්‍රියා කලාපය නිසා ප්‍රංශය හා එංගලන්තය තම වාද භේද අමතක කොට 1904 දී මිත්‍ර ගිවිසුමක් ඇති කොට ගැනීමයි. එයට අනුව එංගලන්තය ප්‍රංශයේ ආරක්ෂාව කොයියම් යුද්ධ අවස්ථාවකදී හෝ සලසන බව පැවසුවේය. ඉන් අදහස් කළේ යුරෝපයේ ඕනෑම රටක් ප්‍රංශය හා යුධ වැදුණ හොත් එංගලන්තය ප්‍රංශයේ පක්ෂය ගන්නා බවයි. මේ අනුව බලනවිට ප්‍රංශය හා රුසියාවත්, එංගලන්තය හා ප්‍රංශයත් යුරෝපයේ එක පිලකට බැඳී සිටින අයුරු දැකිය හැකිය. 1907 වන විට ව්‍යවස්ථාදායක සභාවකින් යුත් පාර්ලිමේන්තුවක් රුසියාවට ලබා දීමට සාර් රජු කටයුතු කළ නිසා ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් පැවති එංගලන්තය සමඟ රුසියාව ගිවිසුමකට බැදුණි. (මේ ගිවිසුම ටිබෙට් හා ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඇති කරගත් සම්මුතියක් අනුව සිදුවිය)මෙලෙස යුරෝපය දෙපිලකට බෙදී ගිවිසුම ඇති කර ගන්නා විට බෝල්කන් ප්‍රදේශවල තත්ත්වයද (අග්නිදිග යුරෝපයේ) එම ගිවිසුම් තහවුරු කිරීමට බෙහෙවින් ඉවහල් විය. 1878 බර්ලින් සමුලුවෙන් පසුව ජර්මනිය තුර්කි ප්‍රදේශවල තම බලය වැඩි දියුණු කර ගත්තේ ආර්ථික අංශයෙන් පමණක් නොවේ. දේශපාලනික අංශයෙන්ද දෙවන විලියම් කයිසර් රජු බෝල්කන් ප්‍රදේශ වල බලය තහවුරු කර ගත්තේ තමා තුර්කි සුල්තාන් වරයාගේ මිත්‍රයෙක් ලෙස ප්‍රකාශ කරමිනි.

1908 දී තරුණ තුර්කි විප්ලවය ඇති වීමෙන් පසුව තුර්කියේ ඇති වූ නව ආණ්ඩුව සමඟ ජර්මනියේ මිත්‍රත්වය වඩාත් වැඩි විය. මෙම අවධිය වන විට ඕස්ට්‍රියාවද තමන්ගේ බලය තුර්කි ප්‍රදේශවල වැඩි දියුණු කර ගැනීමට කැමැත්තෙන් සිටියේය. මේ වන විට තුර්කි ප්‍රදේශ කෙරෙහි ඕස්ට්‍රියාව සහ ජර්මනිය ආර්ථික අංශයෙන් වැඩි බලයක් ඇති කර ගත්තේ බර්ලින් බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය ඉඳිකිරීමෙනි. මෙම දුම්රිය මාර්ගය ඉඳිකිරීම හේතුවෙන් ප්‍රංශය හා එංගලන්තය පමණක් නොව රුසියාවද ජර්මන් ක්‍රියා කලාපයට විරුද්ධ විය. මේ වන විට ඉතාලිය එංගලන්තයට විරුද්ධව මධ්‍යධරණී මුහුදේ නාවික අංශයෙන් කටයුතු කිරීමට අකමැති වූ නිසා ජර්මනිය හා ඕස්ට්‍රියාව සමඟ ඔවුන් ඇති කරගෙන තිබුණු ත්‍රි සංයෝජන ගිවිසුමින් (ඕස්ට්‍රියාව, ජර්මනිය, ඉතාලිය) වෙන් වුණි. මේ හේතුවෙන් ඉතාලියේ සහාය කෙදිනක හෝ එංගලන්ත ප්‍රංශ පිලට බලාපොරොත්තු විය හැකි විය.

(c) Shilpa Sayura Foundation 2006-2017