ඉංග්‍රීසි විප්ලවය (දෙවන කොටස)
 

1648 දී රාජාණ්‌ඩු ක්‍රමයට එරෙහිව සිවිල් යුද්ධයක්‌ මෙහෙය වූ ඔලිවර් ක්‍රොමිවෙල් ජයග්‍රහණය කළේය. පළවෙනි චාර්ල්ස්‌ රජු සිරකරුවෙක්‌ බවට පත් වූයේය. පාර්ලිමේන්තුව දක්‌වා ගෙන ගිය සටනේදී රජුට පක්‌ෂ මන්ත්‍රීන් ඉවත් කොට ඉතිරි මන්ත්‍රීවරුන් රැස්‌වී, කෲර දේශද්‍රෝහි මිනීමරු පාලකයෙකු හැටියට, පළවෙනි චාර්ල්ස්‌ රජු වරද කරු කොට 1649 දී හිස ගසා දමනු ලැබීය. ඔලිවර් ක්‍රොමිවෙල් 1660 වන තුරු සමූහාණ්‌ඩුවක්‌ ලෙස රට පාලනය කළේය. ක්‍රොමිවෙල්ගේ පාලනයෙන් යුරෝපාකරයේ රජවරු තැති ගත්හ. ඉංග්‍රීසිහුද ක්‍රොමිවෙල්ගේ පාලනයට අකමැති වූහ.


ක්‍රොමිවෙල් ගේ මරණයෙන් පසු පළවන චාර්ල්ස්‌ රජුගේ පුත්‍රයා වූ දෙවෙනි චාර්ල්ස්‌ රජු යටතේ රජ පෙළපත නැවත බලයට පත් වූයේය. දෙවන චාර්ල්ස්‌ රජු අති දක්‌ෂ පුද්ගලයෙක්‌ විය.වසර කීපයක් රටින් පිටුවහල් කරනු ලැබ සිටිමින්, දුක් කරදර වලට භාජනය වූ ඔහු 'නැවතත් නන්නත්තාරේ නොයමි'යි තරයේම සිතා ගත්තේය. සිය පියා හා සටන් කොට ලබාගත් බලතල කිසිවක් එංගලන්ත පාර්ලිමේන්තුව විසින් කිසිකලෙක අත නොහරින බව ඔහුට වැටහුණි. 1681 වර්ෂය වන විට රටේ බොහෝ දෙනා මොහුට පක්‍ෂ වී සිටියහ. ඔහු වරින් වර පාර්ලිමේන්තුව කැඳ වූ අතර ගැටුම් ඇති කර ගත්තේ නැත.

මින් පසු රජ වූ දෙවෙනි ජේම්ස් රජු පාර්ලිමේන්තුව සමඟ ගැටුම් ඇති කර ගත්තේය. පාර්ලිමේන්තු ක්‍රමයට හිතවත් අය සංවිධානය වී රජුට විරුද්ධව නැඟී සිටි අතර, දෙවෙනි ජේම්ස් 1688 දී රජකම අතහැර පලා ගියේය. ඒ වෙනුවට ඒ රජුගේ දියණියන් වූ මේරි කුමරියත්, එක්සත් ප්‍රදේශ පාලනය කළ ඇගේ ස්වාමියා වූ ඔරේන්ජ්හි විලියම් රජුත් රජ කමට පත් කර ගැනීමට පාර්ලිමේන්තුව සමත් විය. මෙය 1688 උත්කෘෂ්ඨ විප්ලවය නමින් හැඳින්වේ.

පාර්ලිමේන්තුව පැනවූ කොන්දේසි යටතේ රට පාලනය කිරීමට මෙම තුන්වන විලියම් රජු පොරොන්දු වූයේය. මේ පොරොන්දු සමූහය අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් 1689 දී සම්මත විය.

එහි කොන්දේසි මෙසේය.

1. මහජන නියෝජිතයන්ගේ අනුමැතිය නොමැතිව බදු අය කළ නොහැකිය.
2. පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ස්ථාවර හමුදාවක් තබා ගත නොහැකිය.
3. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී වරුන්ගේ කතා කිරීමේ නිදහසට බාධා කරන කිසිවක් නොකළ යුතුය.
4. කෲර හා අමානුෂික දඬුවම් පැමිණවීම නොකළ යුතුය.

පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලතල හිමි වූ ඉංග්‍රිසි විප්ලවය අවසන් වූයේ ඒ ආකාරටය.

(c) Shilpa Sayura Foundation 2006-2017