ඉංග්‍රීසි විප්ලවය - පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමය
 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමය කාලාන්තරයක්‌ තිස්‌සේ විකාශනය වූවකි. 1215 දී මහජන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය අත්සන් කිරීමෙන් පසු වකවානුවේදී මහජන මන්ත්‍රී මණ්‌ඩලය බිහිවිය. ටියුඩර් වංශික රජවරුන්ගේ හිතුවක්‌කාර පාලනය තුළ වුවද මහජන මන්ත්‍රී මණ්‌ඩලය සමඟ ගැටුම් ඇතිවූයේ නැත.


අටවන හෙන්රි රජු (1491-1547) සමයේ එංගලන්තයේ රෙපරමාදු ආගම පැතිර ගියේය. මේ හේතුකොට ගෙන ගැටුම් ඇතිවිය. පළවෙනි එළිසබෙත් ඔහුගේ දියණිය විය. එළිසබෙත් බිසව ඇගේ පියා මෙන් රටවැසියාට අතිශයින් ප්‍රිය වූවාය. කිසි කලෙක විවාහ නොවුණු ඇය ප්‍රංශ හෝ ස්‌පාඤ්ඤ කුමරෙකු සරණ කරගන්නට යන බවක්‌ දක්‌ෂ ලෙස පිටට ඇඟවූවාය. මෙයින් මුලාවුණු රජවරු කරදර හා වියදම් ගෙන දෙන යුද්ධයක්‌ මඟින් නොව විවාහයක්‌ මඟින් එංගලන්තය නතු කරගත හැකි වෙතැයි බලාපොරොත්තු වූහ.

මෙකල ඉංග්‍රීසි නාවික බලය වැඩී ගියේය. ආගමික සටන් නිසා ප්‍රංශය අවුල් වී තිබුණි. ස්‌පාඤ්ඤයේ පිලිප් රජු එංගලන්තය ආක්‍රමණය කිරීමට දැරූ ප්‍රයත්නයේ දී 'අනගිබවනීය නෞකා හමුදාව' යයි ඔහු නම් කොට තිබුණු නැව් කණ්‌ඩායම බිඳ දමා ඉංග්‍රීසිහු 1588 දී මහත් ජයග්‍රහණයක්‌ ලබා ගත්හ. නාවික බලය ගැන අටවන හෙන්රි රජු මෙන්ම එළිසබෙත් බිසව හා ඇගේ අග්‍රාමාත්‍ය විලියම් සිසිල් නම් වූ බර්ලි සාමිද උද්යෝගිමත් වූහ.

එංගලන්තයේ ධනය හා බලය දියුණු කිරීමට සිසිල් අගමැති වරයා හැකි තරම් සියල්ල කළේය. රදළවරුද ක්‍රමයෙන් වැඩී ගෙන එන මධ්‍යම පන්තියේ ජනයාද ඔහුට අනුබල දුන්හ. විදේශ හා වෙළඳාම් කිරීම පිණිස ඉංග්‍රීසි වෙළෙන්ඳෝ විශාල සමාගම් ආරම්භ කළෝය. ඒ අතර ඉංග්‍රීසි වෙළෙන්දෝ විශාල සමාගම් ආරම්භ කළෝය. ඒ අතර ඉංග්‍රීසි නැවියෝ අලුත් රටවල් සොයා ගන්නටත් ස්‌පාඤ්ඤ නැවී වලින් ධනය පැහැර ගන්නටත් වූහ. මෙබදු කොල්ලකරුවන් ගෙන් ප්‍රසිද්ධ වූයේ ප්‍රැන්සිස්‌ ඩිරේක්‌ය. ස්‌පාඤ්ඤ ආර්මඩාවට පහර දීමට ඉංග්‍රීසි නෞකා කණ්‌ඩායමට මොව්හු බොහෝ සෙයින් උපකාරි වූහ. පළවෙනි එළිසබෙත් යුගය එංගලන්තයේ ස්‌වර්ණමය යුගය විය. වෝල්ටර් රැලේ දුම්කොළ හදුන්වා දීමත් ෂෙක්‌පියර්ගේ සාහිත්‍ය කටයුතු වැනි දේත් ඊට හේතු විය. එළිසබෙත් යුගයේදී එංගලන්තයේ ධනය නිම්හිම් නැති සේ වැඩීගෙන ගියේය.

එළිසබෙත් බිසවගේ දීර්ඝ රාජ්‍ය කාලය 1603 දී අවසන් වූයෙන් පළවෙනි ජේම්ස්‌ රජු (1603-1625) රජ බවට පැමිණියේය. පළවන ජේම්ස්‌ රජු හා පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිවිය. ඔහුගේ පුත්‍ර පළවෙනි චාර්ල්ස්‌ (1625-1649) රජුගේ කාලයේදී, ධනවත් රදළවරුද අලුත පොහොසත්වූ මධ්‍යම පන්තියේ ජනයාද පාලන කටයුතු වලට වැඩි වැඩියෙන් හවුල් වන්නට බලාපොරොත්තු වූවෝය. මොවුන් 'පියුරිටන්' වාදීන් නමින් ප්‍රකට වී සිටියහ.

පළවන චාල්ස්‌ රජුට පාර්ලිමේන්තුව විසින් මහජන අයිතිවාසිකම් පිළිබඳ ආයාචනය ඉදිරිපත් කරන ලදී. 'මහරජු ඒකාධිපතියෙකු නොවිය යුතුය' 'නීති විරෝධි ලෙස සිරගත කිරීම රජුගේ කාර්යයක්‌ නොවිය යුතුය' යන අදහස්‌ එහි ඇතුළත් විය. මින් කෝප වූ චාර්ල්ස්‌ රජු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017