කාර්මික විප්ලවයේ ප්‍රතිඵල
 

කාර්මික විප්ලවයේ ප්‍රතිඵල දෙස බලන විට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද දක්‌නට හැකිය.


එංගලන්තයේ මුල් වරට කර්මාන්ත අංශයේ වෙනසක්‌ ඇතිවීම නිසා විශාල කර්මාන්ත ශාලා ඇතිවිය. එයින් පෙරට වඩා නිෂ්පාදන තත්ත්වය දියුණුවූ අතර එකී නිෂ්පාදන වලට යුරෝපය හා පෙරදිග ප්‍රදේශවල වෙළඳ පොළවල් ලැබීමෙන් වාණිජ ඒකාධිකාරිත්වයක්‌ ලබා ගැනීමට හැකිවීම යහපත් ප්‍රතිඵලයකි. එමෙන්ම තිබූ පැරණි කෘෂිකර්ම ආර්ථික රටාව වෙනස්‌ වී ජනගහණය වැඩි වීමෙන් ඉල්ලුමට සරිලන ආහාර සැපයුමක්‌ ඇති කිරීමට හැකිවීම තවත් වැදගත් දෙයකි. 18 වන සියවසේ මුල් භාගයට වඩා 18 වන සියවසේ මැද භාගය වන විට එංගලන්තයේ කාර්මික නගර ගණනාවක්‌ම එංගලන්තයේ හා වේල්සය අවට දක්‌නට ලැබීම තවත් ප්‍රතිඵලයකි.


1830 පසුව ඇතිවුණු නිෂ්පාදන නිසා විශේෂයෙන්ම ගුවන් විදුලිය, අහස්‌යානා, දුම්රිය සේවා යනාදියෙන් රට රටවල් අතර සම්බන්ධය ඇතිවීමට මඟ පැදුණි. මේ අනුව බලන විට මහජනතාවගේ යහපතටත් එංගලන්තයේ දියුණුවටත් කාර්මික විප්ලවය උපයෝගිවුණු අන්දම දැකිය හැකිය. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇතිවීමෙන් පසුව ජර්මනිය, ප්‍රංශය, රුසියාව වැනියුරෝපා රටවල් වලටද පැතිරයාමෙන් එම රටවල් පවා කාර්මික අංශයෙන් දියුණුවක්‌ ලැබීම වැදගත් කරුණකි.


මෙහි යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵලද එමට ඇත. එංගලන්තයේ මහා කර්මාන්ත ශාලා ඇතිවීමෙන් ධනපති කම්කරු යැයි පන්ති දෙකක්‌ බිහිවීම නිසා 19 වන සියවස තුල එංගලන්ත සමාජයේ කම්කරු ආරවුල් ගණනාවක්‌ම දක්‌නට ලැබේ. විශාල කර්මාන්ත ශාලාවල අඩු වැටුපට වැඩි කාලයක සේවාවක්‌ කිරීමට කම්කරුවන්ට සිදුවිය. නියමිත වැටුප් ප්‍රමාණයක්‌ නොතිබුණ අතර විශ්‍රාම වැටුප් හෝ අතිකාල දීමනා ගෙවීමක්‌ සිදු නොවුණි. කර්මාන්ත හිමියන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ තොග ගණන් බඩු නිෂ්පාදනය කිරීමේදී ශ්‍රමයට ගෙවන මිල අඩු කිරීමයි. එයින් ඔවුන් අපෙක්‌ෂා කළේ වැඩි ලාභයක්‌ ලැබීමයි.


කම්කරුවන්ට විශේෂයෙන් කාන්තාවන්ට හා කුඩා දරුවන්ට කර්මාන්ත ශාලාවල කිසිම ආරක්‌ෂාවක්‌ නොලබා දිනකට පැය 14ක්‌ පමණ සේවය කිරීමට සිදුවිය. එමෙන්ම කම්කරුවන්ට ජීවත්වීමට යහපත් නිවෙස්‌ නොතිබුණු අතර, කාර්මික නගරචල කුඩා ප්‍රදේශවල වැඩි කම්කරු ජනතාවක්‌ සෞඛ්‍ය පහසුකම් නොලබමින් ජීවත්වීම තවත් අයහපත් ප්‍රතිඵලයකි. අපිරිසිදු මුඩුක්‌කු වල වාසය කළ ඔව්හු නොයෙක්‌ විට ලෙඩ රෝග ආදියෙන් පෙළුණහ.


කම්කරුවන්ට මුලදී වෘත්තීය සමිති වශයෙන් සංවිධානය වීමේ බලයක්‌ ධනපතීන් වෙතින් ලැබුණේ නැත. එංගලන්ත දේඥපාලඥයන්ට මෙකී කම්කරුවන් හා කම්හල් හිමියන් අතර පැවති ආරවුල් ගණනාවක්‌ම විසදීමට සිදුවිය. මෙකී ආරවුල් වල ප්‍රතිඵලයක්‌ ලෙස 'ලඩයිට්‌' ව්‍යාපාරය, 'ඩාට්‌ස්‌ට්‌' ව්‍යාපාරය ආදිය පෙන්වා දිය හැකිය. මහා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍රවලට ගිනි තැබූ ලඩයිට්‌වරු, කම්හල් හිමියන්ට විරුද්ධව කටයුතු කළේ කාර්මික විප්ලවය නිසා ඇතිවූ අයහපත් ප්‍රතිඵල හේතුකොට ගෙනය. චාට්‌ස්‌ටි වරුන්ද අපෙක්‌ෂා කළේ කම්කරු පන්තියට අයිතිවාසිකම් දිනා ගැනීමයි. සමාජයේ කිසිම අයිතිවාසිකමක්‌ කාර්මික විප්ලවය නිසා ඇතිවූ කම්කරු පන්තියට නොලැබී යාම ඊට හේතුවයි. කාර්මික විප්ලවයේ අයහපත් ප්‍රතිඵල දෙස තවදුරටත් බැලීමේදී යන්ත්‍ර සූත්‍ර වලින් යහපතක්‌ සිදුවූවා මෙන්ම, කාර්මික දියුණුව නිසා මහජනතාවගේ විනාශයටද එයම හේතුවුණු බව පෙන්වා දිය හැකිය. න්‍යාෂ්ටික අවි ආයුධ තැනීම සෑම රටකම ආරම්භ කිරීම, පළවන හා දෙවන ලෝක සංග්‍රාම වලදී එකී අවි ආයුධ නිසා ජන ඝාතනයන් සිදුවීමත්, රටවල් විනාශ වී යාමත්, කාර්මික විප්ලවයේ අයහපත් ප්‍රතිඵල ලෙස හදුන්වා දිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017