කාර්මික විප්ලවය විකාශනය
 

කාර්මික විප්ලවය දෙස බලන විට මේ අනුව නවීන යන්ත්‍ර කීපයක්‌ ඇතිවීමෙන් කර්මාන්ත ශාලාවල වැඩ ඉතාමත්ම පහසුවෙන් හා ඉක්‌මනින් කිරීමට හැකි වු බව කිව හැකිය. කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන රෙදිපිළි කර්මාන්තය වූයේ ලොම් කර්මාන්තයයි. නමුත් කාර්මික විප්ලවය නිසා කපු පිළි කර්මාන්තය ප්‍රධාන කර්මාන්තය බවට පත්විය. මෙම කර්මාන්තය වඩාත් දියුණු වීමට හේතු වූයේ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුවත් ඊට සරිලන දේශගුණයක්‌ තිබීමත් එම ද්‍රව්‍ය විශාල ලෙස අලෙවි කිරීමට වෙළඳ පොළවල් ලබා ගැනීමට හැකිවීමත් නිසාය.


යන්ත්‍රයෙහි අණසක යථා පැවැත්වෙන්නට වූයේ ගලායන ජලය වෙනුවට අන්කිසි අමුතු බලවේගයක්‌ සොයා ගැනීමෙන් පසුවයි. යාන්ත්‍රික බලය නිපදවා ගැනීම සඳහා වාෂ්පවේග උපයෝගි කර ගැනීම මිනිස්‌ ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවස්‌ථාවකි. චලනය සඳහා වාෂ්ප වේගය උපයෝගි කරගත හැකි බව පළමුවෙන්ම වටහා ගන්නා ලද්දේ ග්‍රීකයන් විසිනැයි අනුමානයෙන් කියත හැකිය. හීරෝ නැමැති ග්‍රීකයෙක්‌ ඇත්තෙන්ම වාෂ්ප යන්ත්‍රයක්‌ නිපදවීය. ඒ මගින් රෝදයක්‌ කරකන ලද්දේය. වාෂ්ප පොම්ප යන්ත්‍ර බොහෝ කලක පටන් ගල් අඟුරු පතල් වල පාවිච්චි කරන ලද්දේය. පළමු වරට මේ වර්ගයේ පොම්ප එන්ජිමක්‌ සාදන ලද්දේ 1705 දී නිවි කොවන් විසිනි.ජේම්ස්‌ වොට්‌ මෙහි අඩුපාඩු තැන් හරිගස්‌සා එය වඩාත් ප්‍රයෝජනවත් වන ලෙස සකස්‌ කළේය. පතල් වලින් වතුර පොම්ප කිරීමටත්, ලෝපස්‌ කකාරවන උදුන්වල වාතය පොම්ප කිරීමටත් වොට්‌ගේ එන්ජිම බෙහෙවින් පාවිච්චි කරන ලදී. ඔහු විසින් නිපදවූ "ධූමයන්ත්‍ර" මිනිස්‌ ඉතිහාසයේ විශිෂ්ඨතම නිපදවීම යයි ෆේ නම් ඉතිහාසඥයා පවසයි.
1814 දී මුද්‍රණ යන්ත්‍ර වැඩ කරවීම සඳහා වාෂ්ප වේගය පාවිච්චි කරන ලද්දේය. ඊටත් පසු වාෂ්ප එන්ජිම ගොඩබිමින් හා දියෙන් බඩු එහා මෙහා ගෙන යාමට යොදා ගත්තේය. යකඩ සහ වානේ බෙහෙවින් නිපදවනතාක්‌ බහුල ලෙස යන්ත්‍ර සෑදීම කරන්නට නොහැකි වූයේය. බොහෝ ඈත අතීතයේ පටන් සුළු සුළු වශයෙන් යකඩ පාවිච්චි කරන ලද්දේය. ලෝපස කකාරවා ගැනීම සඳහා අවශ්‍ය උෂ්ණය ලබාගන්නා ලද්දේ දර පිළිස්‌සීමෙනි.


18 වන සියවසේ මුල් භාගයේදී ඉන්ධන බලය ලබා ගැනීමට ලී අඟුරට වඩා හොද ද්‍රව්‍යයක්‌ සොයාගන්නා ලද්දේය. 'කෝක්‌' නැමති එම ද්‍රව්‍ය සොයා ගන්නා ලද්දේ 'ඒබ්‍රහම් ඩාවි' නැමැත්තාය. ගල් අඟුරුවල ඇති තෙල් හා වෙනත් ද්‍රව්‍ය ඉවත්කර ගත් විට ලැබෙන්නේ කෝක්‌ නැමති මේ ද්‍රව්‍යයයි. හුදු අංගාරය වූ බැවින් එය වහා ගිනිගෙන අධික උෂ්ණත්වයකින් යුක්‌තව දැවෙන්නේය. ලෝපස්‌ කකාරවන උදුන්වල කෝක්‌ පාවිච්චි වෙන්නට වු විට යකඩ සාදන්නට හැකිවිය. ලෝපස්‌ කකාරවන උදුනද ස්‌මිටන් විසින් වඩාත් හොදින් සකස්‌ කරන ලදී. උදුනෙන් පිටවන හැඩි යකඩවල අපිරිසිදු ද්‍රව්‍යය ඉවත්කොට උසස්‌ වර්ගයේ වානේ සෑදීමට ක්‍රමයක්‌ 1784 දී හෙන්රි කෝට්‌ විසින් සොයා ගන්නා ලදී. 1787 වන විට ෂෙපිල්ඩ්හි වානේ කම්හල් විස්‌සක්‌ පමණ ඇතිවිය. වානේ සෑදීම හේතුකොට ගෙන වානේ ආයුධ හා මෙවලම් පාවිච්චිය බහුල විය. ඉන්පසු මේ ආයුධ මගින්ම වඩවඩා හොද යන්ත්‍ර සූත්‍ර සාදා ගන්නට හැකිවිය.

කාර්මික විප්ලවයේ තවත් වැදගත් අංශයක්‌ නම් මහා මාර්ග වල දියුණුවයි. මහා මාර්ගවල දියුණුවක්‌ නොමැතිව ආර්ථික සංවර්ධනයක්‌ ඇති කළ නොහැකි විය. මාර්ග නොදියුණු තත්ත්වයක තිබීම බඩු එහා මෙහා ගෙන යාමට යන කාලය අපතේ යාමත් නිසාම බඩුවල මිල ඉහළයාම නිතැතින්ම සිදුවේ. එහි ප්‍රතිඵලය වනුයේ වෙළඳාමට බාධා පැමිණීමයි. මේ නිසා මාර්ග වල දියුණුව ප්‍රථමයෙන්ම ජල මාර්ග ඇතිවීමෙන් දක්‌නට ලැබේ. 1760 සිට 1830 දක්‌වා ජල මාර්ග රාශියක්‌ ඇතිවුණු බව පෙනේ. ධනවත් ඉඩම් හිමියන් මෙම මාර්ග සඳහා මුදල් යෙදවීම නිසා ඉතාමත්ම පහසුවෙන් ජල මාර්ග දියුණු කිරීමට හැකිවිය. නිදසුනක්‌ වශයෙන් බ්‍රිජ්වෝටර්හි ආදිපාදතුමා ඔහුගේ ගල් අඟුරු පතල් දියුණු කිරීමට අවශ්‍ය ජල මාර්ග කටයුතු දියුණුවට පවුම් දෙලක්‌ෂ පනස්‌දාහක්‌ පමණ පෞද්ගලිකව වියදම් කළේය. ප්‍රසිද්ධ වෙළඳ පොළක්‌ වු මැන්වස්‌ටර් දක්‌වා ජල මාර්ගයක්‌ ඇතිවීමෙන් පසුව සෑම කර්මාන්ත මධ්‍යස්‌ථානයක්‌ම එකතුවන ලෙස ජලමාර්ග ඇති කිරීමත් නිසා ගමනාගමනය බඩු ගෙනයාම යනාදි පහසුකම් ඇතිවුණි. ද්‍රව්‍ය එහා මෙහා ගෙනයාම පහසුවුණු අතර ද්‍රව්‍යවල මිලද ඒ නිසාම අඩුවිය. ජලමාර්ග ඉදි කිරීම් නිසා එංගලන්ත සමාජයේ ඉංජිනේරු පන්තියක්‌ බිහිවිය. ටෙලර්ෆඩ්, මෙටිකාෆප්, මැකඩම් යන ඉංජිනේරුවන් තිදෙනා මහාමාර්ග සම්බන්ධයෙන් වැදගත් විය.

මැකඩම් විසින් පරණ තාලයේ පාරවල් වඩාත් හොදට සකස්‌ කර ගන්නා ක්‍රමයක්‌ පෙන්වා දෙන ලද්දේය. මේ ක්‍රමය අනුව කළු ගල් වැනි සවි ශක්‌තිය ඇති තද ලෝහ ද්‍රව්‍යයක්‌ අතුරා ඒ පැරණි පාරවල් සකස්‌ කර ගන්නා ලදී. ඊට පසු මේ පාරවල් ඔස්‌සේ කරත්ත වලට වේගයෙන් ගමන් කළ හැකි විය. මෝටර් එන්ජිමෙන් යුත් කාර් බස්‌ ලොරි ආදිය ඇතිවූවායින් පසු මහපාරවල් මගින් බඩු ගෙනයාම බහුලද, ලාබද විය. 1885 දී ඩෙමිලර් විසින් පැට්‌රෝල් බලයෙන් වැඩ කරවන මෝටර් එන්ජිම නිපදවන ලද්දෙන් එවක්‌ පටන් මහපාරවල් මගින් බඩු එහා මෙහා ගෙන යෑමේ ක්‍රම සහමුලින්ම වෙනස්‌ වී ගියේය.


"ලෝකෝමෝට්‌චි" එන්ජිම හෙවත් ජංගම එන්ජිම නිපදවීමෙන් පසු දුම්රිය මගින් බඩු ගෙනයාමද බහුල විය. ඩක්‌කු හා ට්‍රක්‌ මගින් ගල් අඟුරු එහා මෙහා ගෙනයාම සඳහා ගල් අඟුරු පතල් අසල රේල්පීලි යෙදූ පාරවල් පාවිච්චි කරන ලදී. මේ වාහන එක්‌කෝ අශ්වයින් විසින් ඇදගෙන යන ලදී. නැතහොත් මිනිසුන් විසින් තල්ලු කරන ලදී. ස්‌ටීවන්සන් විසින් නිපදවන ලද ජංගම එන්ජිමේ ආධාරයෙන් බඩු හෝ මගීන් ගෙන යන මුළු දුම්රියක්‌ම (එකට ඈදූ කෝච්චි පෙට්‌ටි ගණනක්‌ම) රේල්පීලි මත ඇදගෙන යත හැකිවිය. මේ එන්ජිම නිසා හැම අන්දමේම රථවාහන ගමන පෙරට වඩා බොහෝ සෙයින් ශීඝ්‍ර විය.


කර්මාන්තශාලාවලට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට එංගලන්තයේ බැංකු සේවයක්‌ ආරම්භ විය. මේ අනුව බලන විට කාර්මික විප්ලවය නිසා එංගලන්තය තිබූ පැරණි රටාවෙන් ඉවත්වී නව ශිෂ්ටාචාරයකට එළඹී බවත්, කර්මාන්තශාලා අධිකවීම නිසා ඒවා නිපදවන ද්‍රව්‍ය ලෝකයේ දස දෙස අලෙවිවීමත් නිසා වාණිජ ඒකාධිකාරිත්වය ලබා ගැනීමත්, එංගලන්තයේ කාර්මික නගර බිහිවීමත්, කර්මාන්ත නගර ඇතුළත ඉදිරි යුගයේදී දේශපාලඥයින්ට ප්‍රශ්න ගණනාවකටම මුහුණ පෑමට සිදුවීමත් පැහැදිලිවම පෙනෙන කරුණකි. කාර්මික විප්ලවය ගෙන බලන විට එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද දක්‌නට හැකිය. 1760-1830 දක්‌වා පමණක්‌ යුගය කාර්මික විප්ලවයට සීමා කළ නොහැකි අතර 1760 ට පෙරත් 1830 ට පසුත් අදත් කර්මාන්ත වෙනස්‌වීම සම්බන්ධයෙන් කථාකළ හැකි බව කිව හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017