කාර්මික විප්ලවය 1760
 

'ආනල්ඩ් ට්‍රොයිමිබි' නම් ඉංග්‍රීසි ජාතිකයා කෘෂිකර්මය, වෙළඳාම හා කර්මාන්ත අංශ වලින් 1760 දී පමණ ඇතිවුණු වෙනස්‌කම් කීපය කාර්මික විප්ලවය යනුවෙන් හඳුන්වනු ලැබේ. ක්‌ලපඩි හා අන්වින් යන ඉතිහාසඥයින් කර්මාන්ත අංශයෙන් හදිසි වෙනස්‌ වීමක්‌ ඇති නොවුණු බවත්, 1760 ට පෙරත් 1830 ට පසුත් කාර්මික විප්ලවයක්‌ ගැන කථා කළ හැකි බවත් ප්‍රකාශ කරති. ට්‍රෙවලියන් පවසන අන්දමට කාර්මික විප්ලවය ක්‍රමවත් සිදුවීමක්‌ මිස හදිසියේ ඇතිවූ වෙනස්‌ කමක්‌ නොවේ. කාර්මික විප්ලවය ක්‍රමවත් සිදුවීමක්‌ මිස හදිසියේ ඇතිවූ වෙනස්‌ කමක්‌ නොවේ. කාර්මික විප්ලවය එංගල්තයේ මුලින්ම ඇතිවූයේ තුන්වන ජෝජ් රජතුමාගේ කාලයේය.


මෙම කාර්මික විප්ලවයෙන් සිදුවූයේ මනුෂ්‍යායාගේ ජීවනෝපායන් කෙරෙහි මහත් විපර්යාසයන් පහළ වීමය. අවසානයේදී ඒ විප්ලවය හේතුකොට ගෙන සමාජයේ ආර්ථික ව්‍යුහයද වෙනස්‌ වූයේය. කාර්මික විප්ලවයෙන් එක්‌තරා සමාජ ක්‍රමයක්‌ වෙනුවට තවත් සමාජ ක්‍රමයක්‌ බිහිවුණි. කෘෂිකර්මය මත රඳා පැවති ආර්ථික පදනම කර්මාන්ත මත රඳා පැවතීම කාර්මික වෙනස්‌කම් නිසා, කාර්මික දියුණුව නිසා දක්‌නට ලැබේ. නඟුලෙහි හා තණ බිමෙහි රැඳී තිබුණු ශිෂ්ටාචාරය අභාවයට ගිය අතර ඒ මත ගල් අඟුරු යකඩ හා පිට රටින් ගෙන්වන රෙදි පිළි මත ගොඩනැගුණු වාණිජ ශිෂ්ටාචාරයක්‌ ඇතිවිය. 18 වන සියවසේ මුල් භාගයෙහි කෘෂිකර්මය ගැනද කාර්මික විප්ලවය ගැන විමසා බලන විට කරුණු සෙවිය යුතුය. පැරණි ක්‍රම අනුව ගොවිතැන් කරගෙන යාමත් සාමූහික පදනමක්‌ මත ගොවිතැන් කිරීමත් දැකිය හැකිවේ. ඉඩම් වගාකරනු ලැබුවේ දෙකෙන් ක්‍රමයට හෝ තුනෙන් ක්‍රමයටටයි. ගොවියන්ට තමාගේ අස්‌වැන්න වැඩිකර ගැනීමට කැමති පරිදි කෘෂිකාර්මික පර්යේෂණ කිරීමට නොහැකි විය. මන්ද යත් සෑම ඉඩම් හිමියකුගේම අනුමැතිය ඒ සඳහා ලබාගැනීම අපහසු වූ බැවිනි.

18 වැනි සියවසේ අගභාගය වනවිට එංගලන්තයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වූයෙන් එන ජනගහණයට සරිලන පරිදි ආහාර සැපයුමක්‌ කිරීමට පැරණි ගොවිතැන් ක්‍රම ප්‍රමාණවත් නොවීය. තුන්වන ජෝර්ජ් රජු දවස මේ නිසා කෘෂිකාර්මික අංශයෙන් විප්ලවයක්‌ ඇතිවීම පෙනී යන්නකි. ධනපතියන් කීප දෙනෙක්‌ අතට ඉඩම් පත්වීම හා විශාල වතු ලෙස වගා කිරීම දක්‌නට ලැබේ. කෘෂිකාර්මික විප්ලවයක්‌ ඇතිවීමට හේතු වූ කරණු සොයා බැලිය යුතුවේ. ඉඩම් අළුත් ක්‍රම අනුව වගා කිරීමට කටයුතු කළ අතර 1760 වන විට ඉඩම්වල ජලය බැස්‌වීමට 'එල්කින්ටන්' නැමැත්තා මාර්ගයක්‌ සොයා ගත්තේය. මෙම ක්‍රමය නිසා ඉඩම්වල වැඩි ජලය රඳා පැවතීම ඉවත් කිරීමට හැකිවුණු අතර ඒ වෙනුවට විශාල ඉඩම්වල සතුන් ඇතිකිරීමේ ව්‍යාපාරයක්‌ද ආරම්භවී තිබුණෙන් 'බේක්‌වේල්'නැමැත්තා සතුන් ඇතිකිරීම සම්බන්ධයෙන් නවීන වැඩපිළිවෙලක්‌ ද සොයා ගත්තේය. බැටළුවන්, ගවයන් හා එළුවන්ගේ තත්ත්වය දියුණු කිරීමටත්, සතුන් ඇතිකිරීම සම්බන්ධයෙන් යහපත් ක්‍රමයක්‌ අනුගමනය කිරීමටත් මින් හැකිවිය.


භෝග මාරු කිරීමේ ක්‍රමයක්‌ද අලුතින් සොයාගනු ලැබිණි. මධ්‍ය යුගයේදී හැම ගොවියාම වර්ෂයක්‌ පාසා එක්‌ බිම් කැබැල්ලක්‌ පාළුවට හැරියේය. ඒ නැතිවුණු සරුව නැවතත් ඇතිවනු සඳහාය. මෙසේ හැම වර්ෂයකදීම කුඹුරු වලින් 1/2 හෝ 1/3 අපතේ ගියේය. එහෙත් භෝග මාරු කිරීමේ ක්‍රමය සොයාගත් පසු කිසිම බිමක්‌ පාළුවට හැරීමට උවමනාවක්‌ නොවීය. එක්‌ භෝගයක්‌ වැවීමෙන් නැතිවී ගිය සාරය වෙනත් භෝගයක්‌ වැවීමෙන්, යළිත් බිමෙහි ඇතිවන පරිදි එකම බිම් කැබැල්ලෙහි විවිධ වර්ගයේ භෝග වවන ලද්දේය. එම බිම්වල ටර්නිප්, බාර්ලි, තිරිඟු වැනි ධාන්‍ය වගාකිරීම කරනු ලැබිණි. මෙම භෝග මාරු කිරීමේ ක්‍රමය හඳුන්වාදීමේ ගෞරවය 'ටවුන්සෙන්ට' හිමිවේ. අර්තාපල්, ටර්නිප් වැනි ද්‍රව්‍ය මෙම ක්‍රමය අනුව වැඩිපුර වගා කිරීමට හැකිවිය. එමෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය අලුත් යන්ත්‍ර උපකරණ 'ජෙට්‌රෝටල්' විසින් නිපදවනු ලැබිණි. ඔහු අශ්වයින් විසින් අද්ඳින ලද නගුල් පෝරුවක්‌ සහ ඩ්‍රිල් යන්ත්‍රයක්‌ නිපදවීය. ඩ්‍රිල් යන්ත්‍රය නිසා භෝග වර්ග මනාව සංවිධානාත්මකව වගා කළ හැකිවිය. නිතර නිතර පස ගැඹුරට හෑරීමෙන් පසේ සාරවත් බව ඇතිකර ගතහැකි බව ජෙට්‌රෝටල් පෙන්වා දුන්නේය. ෆේ යන ඉතිහාසඥයා පවසන පරිදි කෘෂිකර්ම ඉතිහාසයේ වැදගත්ම තැනැත්තා ජෙට්‌රෝටල් වේ. ඇත්ත වශයෙන්ම කෘෂිකර්මය අතින් විප්ලවයක්‌ ඇතිවීම නිසා 18 වන සියවසේ මැද භාගයේදී ඇතිවූ කාර්මික දියුණුව කාර්මික වෙනස්‌වීම් ඒ නිසාම සිදුවී යයි ප්‍රකාශ කළ හැකිය.


එහෙත් කෘෂිකර්මයෙහි ඇතිවූ සෑම විපර්යාසයක්‌ම දුප්පතාගේ වාසියට සිටියේ නැත. පුරාණ කාලයේදී සෑම පවුලකටම ඉඩම් කැබැල්ලක්‌ තිබුණේය. ගව දෙනක්‌ දෙදෙනෙක්‌ සිටියේය. කෑම හිඟයක්‌ද නොවීය. සියල්ලන්ටම කිරි ලබාගත හැකිවිය. එහෙත් අලුත් ක්‍රම පහළ වූ විට, වැඩියෙන් වත් පොහොසත්කම් ඇති අය වගාකළ හැකි ඉඩකඩම් සියල්ලක්‌ම මිලදී ගත්තෝය. ගමේ හරකුන් කවන පොදු ඕවිටි පෞද්ගලික ඉඩම් හැටියට ධනවතුන් විසින් කොටුකර ගන්නා ලද්දෙන් දුප්පතුන්ට හරකුන් කවන්නට හෝ ගොවිතැන් කරන්නට ඉඩම් නැතිවී ගියේය. ගම්බද ජනයා අතිශයින්ම දිළිඳු වූහ. තේ වතු කාරයාට වාසියක්‌ කරමින් දුප්පතා කිරි වෙනුවට තේ බොන්නට පටන් ගත්තෙත් මේ වකවානුවේය. 1760 සිට 1850 අතර තුර කාලයේදී මෙසේ ඉඩම් අක්‌කර 70,00000 ක්‌ ධනවතුන් විසින් තමන් සන්තක කරගන්නා ලද්දෙන්, දුප්පතුන්ට නගරයට ගොස්‌ ජීවිකාව සොයා ගන්නට හෝ පිටරට වලට යන්නට සිදුවිය. ගෝල්ඩ්ස්‌මිත් කවියාගේ 'ඩිසර්ටඩ් විලේජ්' හෙවත් පාළුගම නැමැති කාව්‍යයෙන් කියවෙන්නේ පුරාණ කාලයේදී ඉංග්‍රීසි ගම්බද ජීවිතයෙහි පැවති සෞන්දර්යයක්‌ කෘෂිකර්ම විපර්යාසයෙන් ඉක්‌බිති ඇතිවූ දුක්‌ඛිත තත්ත්වයත්ය.


මේ ඉඩම් කොටුකිරීමේ ක්‍රමය නිසා රැකියා හිඟ පිරිසක්‌ එංගලන්තයේ බිහිවිය. බ්‍රිතාන්‍ය විදේශීය වෙළඳාම මේ වන විට දියුණුවූ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය බ්‍රිතාන්‍ය ධනපතීන් අත නොඅඩුව පැවතුණි. මේ මුදල් යොදවා ඔව්හු කර්මාන්ත කර්මාන්ත පටන් ගත්හ. යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් මහත් විපර්යාසය ඇතිවූයේ රෙදිපිළි කර්මාන්තයේය. පැරණි කාලයෙහි සෑම ගෙදරකම නූල් කටින රෝදයක්‌ තිබුණේය. ගෙදර ස්‌ත්‍රීහු තම පවුලට අවශ්‍ය රෙදි වියා ගත්තෝය. එහෙත් යන්ත්‍ර පාවිච්චිය ඇතිවූ විට මේ තත්ත්වය සහමුළින්ම පෙරළී ගියේය. නූල් කටින අත් රෝදයෙන් කරකැවුණේ එකම එක ඉද්දකි. නූල් එතුණේ ඒ එක ඉද්දෙහිය. 1733 දී ජෝන් කේ ෆලයින් ශට්‌ල් නම් යන්ත්‍රය නිපදවීය. 1767 දී ජේම්ස්‌ හා ග්‍රිවිස්‌ නම් තැනැත්තා 'ස්‌පිනින් ජෙනී' නම් නූල් කටින යන්ත්‍රය නිපදවීය. මෙම යන්ත්‍රයෙන් පැරණි අත් රෝදයෙන් අඹරා ගත්තාට වඩා නූල් අඹරා ගන්නට හැකිවිය.


1769 දී තවත් නිශ්පාදකයෙක්‌ එනම් රිචර්ඩ් ආක්‌රයිට්‌ 'ජලරාමුව' නිපදවීය. ඔව්හු කටින රෝද කරකැවීම සඳහා ගලන ජලය උපයෝගි කොට ගත්තේය. ඉක්‌බිති කල් යත් යත්ම වේගයෙන් ගලායන ගඟක්‌ අසල කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවා ඒ මගින් තම තමන්ගේ ගෙදරවලදී ගම්මුන් රාශියක්‌ විසින් වියනවාට වඩා විශාල රෙදි තොඟයක්‌ වියාගන්නට හැකිවිය. 1799 දී ක්‍රොම්ප්ටන් නැමැත්තා 'මියුල්' නම් නූල් කටින යන්ත්‍රය නිපදවන ලදී. ඒ මගින් සියුම් වර්ගයේ රෙදිපිළි වියාගත හැකි වූයේය. 1784 දී එඩ්මන් කාට්‌රයිට්‌ බලවේගයකින් යුක්‌ත 'පවර්ලූම්' යන යන්ත්‍රය නිපදවීය. ඉන්පසු ජල බලයෙන් වැඩ කරවන ඉඳි ලක්‌ෂ ගණනින් යුත් කර්මාන්තශාලා ඇතිවීමට මඟ පෑදුණේය. නිරන්තරයෙන් තද වැසි පැවතීම නිසා මෝලවල් වැඩ කරවන්නට ජල පහසුව ලබාගත හැකි ලැන්කෂයර් පළාත ලෝකයේ රෙදිපිළි ව්‍යාපාරයෙහි ප්‍රමුඛයා විය. වාෂ්ප බලයෙන් යන්ත්‍ර වැඩ කරවන්නට පටන් ගත් විට එම වේගය නිපදවීමට අචශ්‍ය ඉන්ධන ද්‍රව්‍ය ලැන්කෂයර් ගල් අඟුරු පතල් වලින් ලබාගත හැකි වූයේන් එම පතල් අසල තව තවත් කර්මාන්ත ශාලා පිහිටුවන ලද්දේය. මෙම කර්මාන්ත ශාලාවල වැඩ කිරීම සඳහා කම්කරුවන් වැඩි පිරිසක්‌ ලබා ගැනුමටද එවකට රැකියා හිඟය නිසා පුළුවන් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017