ජාතියක ආර්ථික ජීවිතය පවත්වා ගෙන යාමේදී නිදහස තිබිය යුතුය යන පරමාර්ථය 'පිසියෝක්රටි' හෙවත් ස්වභාවික තන්ත්ර වාදය නමින් ප්‍රංශ ලේඛකයින් කීප දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. මනුෂ්‍යයාගේ ව්‍යාපාරයන් කෙරෙහි පිටස්තරයන් බලපැවැත්වීම හා සීමා පැනවීම ධන වර්ධනයට බාධාවක් බවද, කවර පන්තියක හෝ සෑම මිනිසාටම අන්‍යයන්ගේ නිදහසට බාධා නොවන පරිදි වෙළඳාම් කිරීමටත් වැඩ කිරීමටත් නිදහස තිබිය යුතු යයිද ඔවුහු තර්ක කළෝය. රටට ධනය ලැබෙන්නේ වෙළඳාමෙන් පමණක් යයිද එබැවින් ආණ්ඩුව විදේශයනට බඩු යැවීමට අනුබල දීමෙන් හා විදේශයන්ගෙන් බඩු ගෙන්වීම අධෛර්ය කිරීමෙන් වෙළඳ කටයුතු පාලනය කළ යුතු යයිද එකල පැවති අදහසට මේ ලේඛකයෝ තදින්ම පහර දුන්හ.
(The Wealth of Nations) ජාතීන්ගේ ධනය නැමති පොත ලියූ ස්කොට් ජාතික මහාචාර්ය ඇඩම්ස්මිත් ඉහත කී ලේඛකයින්ට වඩා ප්‍රබල මතයක් කියා පෑවේය. ජනයාගේ වෙළඳාමට හා ගොවිතැනට ආණ්ඩුව ඇඟිලි ගැසිය යුත්තේ එසේ නොකර බැරිම තැනකදී පමණක් යැයි ඔහු පවසා සිටියේය. බඩු ගන්නා, විකුණන්නා, නිපදවන්නා යන මේ සෑම පුද්ගලයෙකුම තම තමනට ඉතාම ලොකු වාසිය ලැබෙන ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනවා ඇතැයිද ඒ නිසා මුළු රටටම වාසියක් වන්නේ යයිද ඇඩම්ස්මිත් සිය ග්‍රන්ථයෙන් අදහස් දැක්වීය.
16 වන, 17 වන සියවස් වලදී මිනිසුන්ගේ අදහස් මතිමතාන්තර සම්පූර්ණයෙන් වෙනස් අතකට පෙරලී ගියේය. මාධ්‍ය යුගයේ අදහස් හා සිතුවිලි අතුරුදන්වී ගියේය. මෙලෝ ජීවිතයේදී මිනිසාට හිමිතැන පිටස්තර කිසියම් බලයකින් නියම වී තිබෙනු වෙනුවට දැන් ඇතිවූයේ මිනිසාට සිය කැමැත්ත පරිදි සිතීමට, කිරීමට, ඇදහීමට නිදහස තිබිය යුතුය යන නව අදහස්ය.
ඉංග්‍රීසි විප්ලවය ඇමරිකානු නිදහස් සටන හා ප්‍රංශ ආණ්ඩු විප්ලවය ඉහත කී විපර්යාසයෙහි ලකුණුය.