යුරෝපා ඉතිහාසයේ මධ්‍යතන යුගයේදී මිනිස් චින්තනය පාලක ආගමික වැනි බලවත් පක්‌ෂවලට අවනතව පැවතියේය. එකල මිනිසා දේව ධර්මය හා නීතිය හැදෑරුවත් වත්මන පවතින අන්දමේ ශාස්‌ත්‍ර හැදෑරීමක් එකල වූයේ නැත. එකල දේව ධර්මය හා නීතිය යනුවෙන් හැඳින්වූයේ ශිෂ්‍යයා විසින් ඉගෙන ගෙන කටපාඩම් කරගත යුතු මූල ධර්ම සමූහයකි. ශ්‍රද්ධාව ඥානයට වඩා වැදගත් කොට ගන්නා ලද මෙකල සම්මුතිය හෙවත් ආචාර්ය ප්‍රඥාප්තිය ගරු කිරීමත් එය අවිවාදයෙන් පිළිගැනීමත් අවශ්‍ය විය. එහෙත් පසුව ලෝකය ලෝකය පිළිබඳව මිනිසාගේ දැනීම වැඩී යාමත්, පැරණි ග්‍රීකයන් මෙන් මිනිසුන් නිදහසේ සිතා මතා බැලීමට හා සොයා බැලීමට ඇබ්බැහිවීමත් නිසා ඉහත කී ස්‌වභාවය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ගියේය. මේ අමුතු ස්‌වභාවය හේතුවෙන් සිදුවූ විපර්යාසය 'චින්තන විප්ලවය' යයි හඳුන්වනු ලැබේ. මෙසේ විමසුම් නුවණ මෙහෙයවා ස්‌වභාවික ලෝකය කෙරෙහි සිත යොදන්නට වීමෙන් මිනිසාගේ පරිසරය ඔහුගේ ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා වඩ වඩා ප්‍රයෝජනයට ගැනෙන්නට වූයේය. මිනිස් ජීවිතයේ පෙර කෙදිනක හො නොවූ විරූ දියුණුවක් ඇතිවූයේය.
මිනිසාගේ විචාර බුද්ධිය 17,18 වන සියවස් වලදී ඉතාමත් පැහැදිලි ලෙස විද්‍යාමාන විය. එංගලන්තයේ රාජකීය සමිතිය හා ප්‍රංශ ඇකඩමිය ශාස්‌ත්‍ර හැදෑරීමේ මධ්‍යස්‌ථාන වී රාජානුග්‍රහය ද ලැබුවේය. ශාස්‌ත්‍රීය විශ්ව කෝෂ, සඟරා, පොත්පත් ව්‍යවහාරයට ආවේය. ස්‌වාභාවික ලෝකය පිළිබඳව දැනීම බොහෝ සෙයින් පැතිර ගොස් මිනිසාගේ සිතීමේ පිළිවෙළේ වෙනසක් ඇතිවිය. ස්‌වභාවික වස්‌තුන් හා සිද්ධීන් පිළිබඳව මෙතෙක් පැවති මිථ්‍යා විශ්වාස ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය. ගණිතාශ්‍රයෙන් ලෝක විවරණයක් මුලින්ම කරන ලද සර් අයිසැක් නිවුටන් මේ චින්තන විප්ලවයේ ශ්‍රේෂ්ඨයා ලෙස සැලකේ. ග්‍රහ චාරයට හේතුව කුමක්‌දැයි සොයා ගත්තේද මොහුය. මේ කාලයට අයත් කීර්තිමත් පුද්ගලයන්ගෙන් තවත් කීප දෙනෙක් වන්නේ ජර්මන් ජාතික ලිබිනිට්‌ස්, ඇමෙරිකන් ජාතික ප්රැන්ක්‌ලීන් සහ ඉතාලි ජාතික ගැල්වනී හා වෝල්ටා යන අයයි. මෙකල විද්‍යාඥයෝ වෘක්‌ෂ ජීවිතය හා සත්ත්ව ජීවිතය කෙරෙහි සිත් යොමු කළහ. විලියම් හාවි සිරුරෙහි රුධිර ධාවනය වන බව සොයා ගෙන එය විස්‌තර කළේය. ස්‌විස් ජාතික වොන්හැලර් කායික විද්‍යාව විස්‌තර ලෙස හදාරා මිනිස් සිරුරෙහි නිර්මාණය පිළිබඳව නිවැරදි දැනීමක් ඇතිකර ගැනීමට මඟ පෑදුවේය. අත් එන්නත් කිරීමෙන් වසූරිය වැළැක්‌වීමට හැකි බව එඩ්වඩ් ජෙනර් සොයා ගත්තේය. තවත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වු සිමීප්සන් ක්‌ලෝරෆෝම් නමැති නිර්වින්දනය සොයා ගත්තේය. වෘක්‌ෂ නිර්මාණය හා සත්ත්ව ශරීර නිර්මාණය පිළිබඳ අධ්‍යයනයද බොහෝ සෙයින් දියුණු විය. උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සම්බන්ධයෙන් ලීනස් හා බපෝන් යන දෙදෙනා ඉතාමත්ම වැදගත් වූහ.