ප්‍රංශයෙහි බුර්බෝන් රාජ වංශයෙහි දක්‌ෂ රජවරු පහළවූහ. මින් එක් රජෙක් වු නවාර්හි හෙන්රි කතෝලිකයින් හා රෙපරමාදු ක්‍රිස්‌තියානීන් අතර පැවති ආගමික කලකෝලාහල සංසිදුවීම සඳහා බොහෝ සෙයින් කටයුතු කළේය. ඔහුගේ පුත්‍ර 13 වන ලුවී රජුට කාඩිනල් රිවලියු නමින් අති දක්‌ෂ අමාත්‍යයෙක් සිටියේය. ඔහුගේ අරමුණ වූයේ ප්‍රංශය බලයෙන් හා සමෘධියෙන් ආඨ්‍යය කිරීමය. 13 වන ලුවී රජුගේ ඇවෑමෙන් ඔහුගේ අරමුණ 14 වන ලුවී රජු යටතේ කාර්ඩිනල්මැසරින් විසින් පවත්වා ගෙන යන ලදී. කෝල්බෙයාර් නම් ඇමතිගේ සහායද ඔහුට ලැබුණේය. පාලනයේ දූෂණ ක්‍රියා මැඩ පවත්වා ඉඩම් අය බදු අඩුකොට ගොවියාට සහනය දී, වෙළඳාමට හා කර්මාන්ත වලට ධෛර්ය දුන්නේය. එහෙත් 1661 දී 14 වන ලුවී ප්‍රංශ ආණ්‌ඩුව තම අතට ගත් බැවින් කෝල් බෙයාර්ගේ සේවයෙන් ප්‍රංශය කවරකදාවත් සමෘධිමත් බවක් නොපැවතියේය. ඔහු ඇතිකළ සමෘධිය ඒකාධිපති රජු තමාට හිතුණු හිතුණු අන්දමට වැඩ කරන්නට යාමෙන් විනාශ වී ගියේය. ලුවී රජුගේ පෞද්ගලික උන්නතියත්, සිය පවුලේ මහන් තත්ත්වය සුරක්‌ෂිත කර ගැනීමට වූ ආශාවත් හේතු කොට ගෙන යුද්ධ කීපයක් ඇති විය. නෙදර්ලන්තයට විරුද්ධව කෙරුණු යුද්ධයත් ස්‌පාඤ්ඤ රාජ පද ප්‍රාප්තිය පිළිබඳ යුද්ධයත් මීට නිදසුන්ය.
ඒකාධිපතියෙකුගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ආණ්‌ඩුව සුබදායකය යන අදහස කාලාන්තරයක් පුරා යුරෝපයෙහි පැවතියේය. ක්‍රි.ව. 1740 - 1786 දක්‌වා ප්‍රසියාවේ රජකල 'මහා ප්‍රෙඩ්රික්' මෙවැනි හිතකාමි ඒකාධිපතියෙකි. එකිනෙකා හා යුද්ධ කරන බලසම්පන්නම උන්නතිකාමි රජුන්ගෙන් ගහණ වු ලෝකයක තමාට යහතින් සිය හැකිවනු ඇත්තේ ප්‍රබල යුද්ධ හමුදාවක ආරක්‌ෂාවන් පමණක් බව ඔහු අවබෝධ කොට ගත්තේය. ඔහුගේ පියා මෙවැනි හමුදාවක් ඇතිකොට තිබුණේය. තම රාජ්‍ය සීමාව තහවුරු කර ගැනීමටත් තවත් ඈතට පතුරුවා ගැනීමටත් හෙතෙම ඕස්‌ට්‍රියාවට විරුද්ධව සටන් කොට සයිලීසියාව අල්ලා ගත්තේය.
1772 ඔහු ඕස්‌ට්‍රියාවට විරුද්ධව සටන් කොට සයිලීසියාව අල්ලා ගත්තේය. මෙසේ සයිලීසියාවද, පෝලන්තයෙන් කොටසක්‌ද ලබාගෙන ප්‍රසියාව විශාල රටක් වී, ජන ශක්‌තියෙන් හා වත් පොහොසත්කමින් ඕස්‌ට්‍රියාව හා ප්‍රංශය සමඟ තරඟ වැඳීමට තරම් බලසම්පන්න තත්වයකට පැමිණියේය. "රජු හා වැසියා අතර පැවතිය යුත්තේ පිය දරු සම්බන්ධයක්" යයි විශ්වාස කළ හේ තමාගේ ප්‍රජාව තම දරුවන් සේද, තමා ඔවුන්ගේ පියා සේද සැලකුවේය. රටවැසියා ඔහු කෙරෙහි දැක්‌වූයේ කෙතරම් ලැදිකමක්‌ද යත් ඔහුට "පියා" යන නම යෙදිණි.