එංගලන්ත රාජ්‍යය
 

ප්‍රථමයෙන්ම හත්වන හෙන්රි රජු යටතේද ඉන් අනතුරුව අටවන හෙන්රි රජු හා එළිසබෙත් බසවුන් යටතේද, එංගලන්තයෙහි ජාතික ආණ්‌ඩුවක්‌ වර්ධනය වී ගියේය. මේ ආණ්‌ඩුව පාප් වහන්සේගේ බලයටත් එම බලය රැකදීමට රැදී සිටි ස්‌පාඤ්ඤයටත් විරුද්ධව සිටියේය. මේ ටියුඩර් රජවරුන්ගේ සමය ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ඨ යුගයක්‌ විය.


ඕලන්දයද ස්‌පාඤ්ඤයට විරුද්ධව සටන් කොට, ස්‌වාධිනත්වය හිමිකර ගෙන සමූහාණ්‌ඩුවක්‌ පිහිටුවා ගත්තේය. එංගලන්ත වැසියා රජුගේ ඒකාධිපති බලයට විරුද්ධ වූහ. මොවුන්ට ඒකාධිපති ආණ්‌ඩුවක්‌ වෙනුවට ක්‍රමානුකුල රාජාණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට අවශ්‍ය විය. ටියුඩර් වංශයට පසුව රජ පැමිණි ස්‌ටුවට්‌ වංශික රජවරු වැසියන්ගේ සිතැඟි වටහා ගැනීමට අසමත්වූහ. මහජනයාගේ විරෝධය ඔවුනට පෙනුණේ රාජද්‍රෝහිකමක්‌ ලෙසිනි. මේ නිසා අභ්‍යන්තර යුද්ධය ඇතිවී පළමුවන චාල්ස්‌ රජුගේ හිස ගසා දමනු ලැබීය. ඉන්පසුව සමූහ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගන්නා ලද නමුදු ඒ අත්හදා බැලීම සාර්ථක නොවීය. ඒ නිසා නැවතත් ස්‌ටුවට්‌ වංශිකයෝ රජ බවට පැමිණියහ. දෙවන ජේම්ස්‌ රජුගේ කාලයේදී යළිත් කලබල ඇතිවී ඔහු සිංහාසනයෙන් නෙරපන ලදී. පාර්ලිමේන්තුව ඔහුගේ දියණිය වු මේරි කුමරියටත් ඇගේ සැමියා වු ඔරේන්ජ්හි විලියම් කුමරාටත් එංගලන්තයේ රජකම භාර ගන්නට ආරාධනා කළේය. ඔවුන් ඒ ආරාධනය පිළිගත්තෙන් එංගලන්තයේ ක්‍රමානුකුල රාජාණ්‌ඩුවක්‌ ඇතිවූයේය. මේ සිදුවීම "1668 විප්ලවය" නමින් හැඳින්වේ.

එහෙත් යුරෝපයෙහි නම් තවත් බොහෝ කලක්‌ ගතවෙන තුරු ඒකාධිපති ආණ්‌ඩු බලපෑවේය. ඉතාම බලවත් ඒකාධිපති ආණ්‌ඩුවක්‌ පැවතියේ ස්‌පාඤ්ඤයේය. සෑම දෙයක්‌ම රජුගේ බලයට යටත් වී තිබුණි. ඕලන්ද වාසීන් රජුට විරුද්ධව කැරලි ගසා සමූහ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගනු ලැබීය. ඕලන්දය ස්‌පාඤ්ඤ අධිරාජ්‍යයෙන් වෙන්වුණු තැන් පටන් ස්‌පාඤ්ඤය පිරිහෙන්නට වූයේය. ස්‌පාඤ්ඤය ඒකාධිපති රාජ්‍යයක්‌ වශයෙන් අභාවයට යාමත් සමඟම ප්‍රංශයෙහි ඒකාධිපති රාජ්‍යයක්‌ ඇරඹුණේය.

(c) Shilpa Sayura Foundation 2006-2017