වැඩවසම් යුගයේ අවසන් භාගයේ දී ක්‍රිස්‌තියානි ලෝකයත් ආසියාවත් අතර එක්‌තරා ප්‍රමාණයක වෙළහෙළඳාම් පැවතුණි. මෙකල ඉන්දියාව හා පෙරදිග අනිකුත් රටවල් කරා වැටුණු නියමිත මාර්ග තිබුණේය. මේ මාර්ග ඔස්‌සේ ඉන්දියාවේ හා චීනයේ සිට යුරෝපා රටවලට කුළුබඩු, සුවඳ විලවුන්, රෙදිපිළි, මුතු මැණික්, හම් භාණ්‌ඩ යන පෙරදිග ද්‍රව්‍ය ගෙනෙනු ලැබීය. මෙම ගොඩබිම් මාර්ග චීනයේ හා ඉන්දියාවේ සිට පර්සියාව දක්‌වා වැටී තිබුණේය. මෙතැන් සිට ඇරඹුණු ගොඩබිම් මාර්ග සුළු ආසියාව හරහා ගොස් එවකට බයිසන්ටයිනය නමින් හදුන්වන ලද කොන්ස්‌තන්තිනෝපලයට පැමිණියේය. මුහුදු මගින්ද පර්සියා බොක්‌ක හා රතු මුහුද කරා වෙළඳ භාණ්‌ඩ එළඹියේය.
ඇලෙක්‌සැන්ඩ්‍රයාවේ මහා වෙළඳ පොළට බඩු පැමිණියේ මේ මුහුදු මාර්ගයෙන්ය. උතුරු හා වයඹ දිග යුරෝපයෙහි වෙළඳාමට මධ්‍යස්‌ථාන වූයේ උතුරු මුහුදේ වෙරළ හා බෝල්වික් මුහුදේ වෙරළය. මේ වෙළඳාමට ගැනුණු ප්‍රධාන ද්‍රව්‍යය නම් ධාන්‍ය, ලොම්, හම්, සත්ත්වතෙල්, ලුණු, මාළු, ෆ්ලැක්‌ස් ආදී හණ වර්ග දැවදඩු යන මේවාය. මේ වෙළඳාම පැවතියේ "හැංසියාටික් සංගමය" නම් වෙළඳ සංගමයක් අතෙහිය. හැම්බර්ග්, ලූබෙක්, ස්‌ටෙටීන්, ඩැන්සිග්, බර්ගන් හා නොවිගොරොඩි ආදී නගරවල මේ සංගමයේ ගබඩා තිබුණේය. මෙහි වෙළෙන්ඳෝ ද ධනවත් කමින් රජවරුන් හා සමවී සිටියෝය. ඔවුන්ගෙන් සමහර දෙනෙක් මධ්‍යම ආසියාව හරහා චීනයට ගොස් එහි ස්‌වකීය වෙළඳාම පිහිටුවා ගත්හ.
එහෙත් ක්‍රි.ව. 1453 දී තුර්කීහු බයිසන්ටයින් අධිරාජයේ අගනුවර වු කොන්ස්‌තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟම වෙළෙදුන්ට මරු පහරක් වැදුණි. යුරෝපය ආසියාව සමඟ වෙළඳාම ගෙනගිය වෙළඳ මාර්ග වැසී ගියේය. එබැවින් ඔවුහු පෙරදිගට ගොස් ඒ පැත්තෙන් පෙරදිගට යාගත හැකි මාර්ගයක් ගැන කල්පනා කළහ.
ලෝකය වටකුරු බැවින් බටහිර දෙසට ගමන් කොට ඒ පැත්තෙන් පෙරදිගට යන මාර්ගයක් නිසැකවම සොයා ගත හැකි යයි ඔව්හු සිතුහ. ප්‍රථමයෙන්ම මේ ඵ්‍රදේශය සොයාගන්නා ලද්දේ අත්ලාන්තික් මුහුදුකරයේ ජාතීන් විසිනි. මේ බටහිර මාර්ගය තොයාගැනීමට උත්සාහ කළ කොලොම්බස්‌ට ස්‌පාඤ්ඤ රජුගෙන් උපකාර ලැබුණේය. කොලොම්බස් බටහිර ඉන්දියා දූපත් සොයා ගත්තේය. ඉන් පසු කෝටීස් පීසාරෝ ආදීහු කැලිෆෝනියාවේ පටන් බටහිර ආජන්ටිනාව හා චිලී ප්‍රදේශය දක්‌වා පැතිර පැවති ස්‌පාඤ්ඤ අධිරාජ්‍යයක් පිහිට වූහ.
පෘතුගීසිහු වෙනත් මාර්ගයක් ඔස්‌සේ යන්නට බැලුවෝය. අප්‍රිකාව වෙරළ ඔස්‌සේ දකුණය යාත්‍රා කළොත් අප්‍රිකාවේ දකුණු කොටස පසුකොට ඒ මගින් ඉන්දීය සයුරට පිවිසෙන්නට හැකි විය යුතු යයි පෘතුගීසි නායකයෝත් විශේෂයෙන්ම නාවික හෙන්රි කුමාරයාත් විශ්වාස කළහ. ඉන්දියාවට යාගත හැකි එබදු මාර්ගයක් බර්තොලම්යුඩයස් හා වස්‌කෝදගාමා ආදීහු පෙන්වා දුන්නෝය. ඉන්පසුව ඉන්දීය සාගරයෙහි පෘතුගීසි අධිරාජ්‍යයක් ඇතිවිය.
මේ ආකාරයෙන් ක්‍රිස්‌තියානි ලෝකය භුගෝලීය වශයෙන් වැඩී ගියේය. අනිකුත් රටවල් පිළිබඳව මිනිසුන්ගේ දැනීමද වැඩිවූ බැවින් ලෝකය පිළිබඳව වැඩවසම් යුරෝපයේ මති මතාන්තර වෙනස් වන්නට විය. මේ වෙනස ඇතිවීමට තවත් හේතුවක් නම් ගණිතාශ්‍රයෙන් ලෝක විවරණයක් කළ කොපර්නිකස්, ගැලිලියෝ ආදී අයගේ ශාස්‌ත්‍රීය කටයුතුය. මෙපමණ කල් එකම සභාවක් ලෙස පැවත ආ ක්‍රිස්‌තියානි ආගමෙහි එකමුතුකමද අවසානයේදී කඩාකප්පල් වී ගියේය.
ආගමික පොත්පත් කියවීම පූජක පක්‌ෂයටම නොතබා මිනිස්‌සු තමාම පොත්පත් කියවීමට පටන් ගත්හ. ඔවුහු රෝමානු කතොලික සභාවෙහි ගුණදොස් සොයන්නට වූහ. පසු කාලයේදී ඇතිවූ ආගමික ප්‍රතිසංස්‌කරණ වලදී බොහෝ දෙනෙක් රොමානු සභාවෙන් වෙන්ව ගොස් "රෙපරමාදු" ක්‍රිස්‌තියානි ආගම පිහිටුවා ගත්හ. මේ ආගමික ප්‍රතිසංස්‌කරණය හේතු කොටගෙන පුද්ගලයාට තමාගේ සිතැඟි අනුව අදහන්නට නිදහසක් දෙවියන් වහන්සේගේ වචනය වැටහෙන්නේ යම් අර්ථයකින්ද ඒ අර්ථය අනුව තමාගේ ජීවිතය පවත්වා ගෙන යාමට නිදහසක් ලැබුණේය.