යුරෝපීය වැඩවසම් ක්‍රමයේ ජන සමාජය
 8 වන 9 වන සියවස්‌ වල වැඩවසම් ක්‍රමය බිහිවුණු සමය ලෙසත්, 10 වන 11 වන සියවස්‌ වලදී එය නියම ලෙසින් සකස්‌ වූ කාලය ලෙසත්, ඊළඟ වර්ෂ 200 වැඩවසම් ක්‍රමය උච්චතම අවස්‌ථාව ලෙසත් සැලකේ. මෙම ක්‍රමය යටතේ ඉඩම් හිමියාත් ඉඩම් ලද්දාත් දෙදෙනා අනෙ‍යාන්‍ය සේවා සම්බන්ධයකින් බැඳී සිටියහ. ඉඩම් හිමියා විසින් ඉඩම් ලද්දාට ආරක්‌ෂාව සපයන ලදී. ඉඩම් ලද්දා තමන්ට තමන්ට ලැබුණු ඒ ආරක්‌ෂාවට ප්‍රතිඋපකාර ලෙස තමාම තම, ස්‌වාමියාට සේවය කරන ලදී. බවබෝගාදි ද්‍රව්‍යවලින් ස්‌වාමියාට ගෙවිලි කරන ලදී.
බටහිර යුරෝපයේ මනුෂ්‍ය සමාජ පන්ති ලෙස හැඩගැසී තිබුණි. ඉතාම පහත් පන්තිය ලෙස ගැනුණේ අඩවහල් හෙවත් ප්‍රවේනි දාසයන්ය. මොවුහු පදිංචි වී සිටි ඉඩම හා බැඳී සිටියෝය. මේ ප්‍රවේනි දාසයන්ගෙන් ඉටු වූ සේවාවන් ගණනක්‌ විය. තම ස්‌වාමියාගේ ඉඩම්වල සතිවැඩ අනිවාර්යයෙන්ම කිරීමට සිදුවිය. ඒ හැරෙන්න ඔවුන් විසින් කළ යුතු වැඩ හැඳින්වූයේ "බෝන් වර්ක්‌" නමිනි.

ස්‌වාමියාගේ වැඩකටයුතු බහුල වූ විට ප්‍රවේනිදාසයන් සියලුදෙනාම එක්‌ වී ස්‌වාමියා වෙනුවෙන් ඒ වැඩට සහභාගි වූහ. ඊට අමතරව මොවුහු ස්‌වාමියාට නොයෙකුත් දීමනාවන් සහ දැකුම් ගෙවිය යුතුව තිබුණි. තම ස්‌වාමියාගේ පුත්‍රයාට නයිට්‌ පදවියක්‌ ලැබුණු අවස්‌ථාවකදී ස්‌වාමියාගේ දුව විවාහවන අවස්‌ථාවේදී නයිට්‌වරයා සටනකට ගොස්‌ සතුරාගේ ග්‍රහණයට හසුවූ අවස්‌ථා වලදීත් මේ ප්‍රවේනිදාසයන් යම් යම් දීමනාවන් සැපයිය යුතුව තිබුණි. ප්‍රවේනිදාසයෙකු මියගිය පසුව ඔහුගේ ඉඩම ඔහුහේ පුත්‍රයාට හිමිවිය.

මෙම වැඩවසම් ක්‍රමයෙහි ප්‍රවේනිදාසයන්ට ඉහළින් සිටියේ ගොවි පන්තියේ ජනයාය. ඔවුහු ප්‍රවේනි දාසයින්ට වඩා නිදහස්‌ තත්ත්වයක සිටියහ. ඔවුන්ට ද රඳළයින්ගෙන් ඉඩම් ලැබුණි. එමෙන්ම ගොවිජනයාද රඳළයින්ට නොයෙක්‌ අන්දමේ සේවාවන් ඉටු කළහ. එහෙත් තමන්ට අවශ්‍ය වෙලාවක මෙතෙක්‌ භුක්‌ති විඳිමින් සිටි ඉඩම් අත්හැර ඉවත යාමට ඔවුන්ට හැකිවිය. නමුත් වැඩවසම් ක්‍රමය යටතේ නින්ද ගම්වල සිටියේ නිදහස්‌ ගොවීන් ටික දෙනෙකු පමණකි. වැඩවසම් ක්‍රමයේ පන්ති හිණිමඟෙහි ඉහළින්ම සිටියේ විශේෂ වරප්‍රසාද ඇත්තෝය. එනම් රජ රඳළ පූජක යන පන්ති තුනයි. මේ පන්ති සියල්ලන්ම අ@න්‍යාන්‍ය සේවා සම්බන්ධයකින් බැඳී සිටියහ. එසේම ඔවුන්ගේ සෑම සම්බන්ධතාවයක්‌ම, ගිවිසුමක්‌ ම රදා පැවතියේ ඉඩම් මතයි. මින් මූලික ස්‌ථානය හිමිවූයේ රජුටයි. රජු යටතේ පැවති ඉඩම් උසස්‌ රඳළයින් වූ බැරන් වරුන්ට හා පූජකයින්ට නින්දගම් ලෙස බෙදා දෙනු ලැබිණි.


රජු ඉඩම් බෙදා දීමේදී තමාගේ ආහාර පානාදිය සඳහා ඉඩම්වලින් එක්‌තරා කොටසක්‌ තබාගෙන ඉතිරි කොටස රඳළයින්ට දුන්නේය. මේ ලෙස රජු තබාගත් කොටස "රෝයල් ඩිවින්" නමින් හැඳින්වේ.රදළයින් මේ ඉඩම් භුක්‌ති විදීම උදෙසා යුධ කටයුතු අතින් රජුට යම්කිසි සේවයක්‌ ඉටුකළහ. රදළයෝ රටේ ආරක්‌ෂාව වෙනුවෙන් සන්නාහ සන්නද්ධ නයිට්‌වරුන් සංඛ්‍යාවක්‌ රජුට සැපයුවෝය. එසේම තමන්ට අයත් නිලකාර ප්‍රවේනිවල අයබදු අය කිරීමද වෙනත් පොදු සේවාවන්ද කරගෙන ගියහ. රජු රටේ පාලන කටයුතු උදෙසාද රදළයින්ගෙන් සහ පූජකයින්ගෙන් නොයෙකුත් උපදෙස්‌ ලබා ගත්තේය. රජුගෙන් ලබාගත් ඉඩම් තනිවම වගා කිරීමට නොහැකි වූ බැවින් රදළයෝ තම පුද්ගලික ප්‍රයෝජනයට කොටසක්‌ තබාගෙන ඉතිරි ප්‍රමාණය ප්‍රවේනිදාසයන් අතර බෙදා දුන්හ. මේ අන්දමින් රදළයා වෙත තබාගත් කොටස "සෙනෝරියල් ඩොමිටි" ලෙස හැඳින්වේ. රදළයින් සතු මෙම ඉඩම් වලින් කොටසක්‌ ද ප්‍රවේනිදාසයන් විසින්ම වගා කළ අතර, ප්‍රවේනිදාසයෝ තමන්ට ලැබුණු ඉඩම් දිගින් වැඩිවන ලෙසත්, පළලින් අඩුවන ලෙසත්, තීරුවලට බෙදා "තුන්කෙත් ක්‍රමයට" වගා කළහ.

මේ යුගයේදී සමාජයේ සෑම අංශයක්‌ ම සංවිධානය වී තිබුණේ ප්‍රාදේශීය වශයෙනි. නගර තිබුණේ ස්‌වල්ප වශයෙනි. ඒවායින් වැඩි ප්‍රමාණයක්‌ බඩු හුවමාරු කරගන්නා ස්‌ථානයන් විය. වෙළෙන්දන් හා ශිල්පීන් වාසය කළේ මේ නගරවලය. ඔව්හු ශ්‍රේණි වශයෙන් සංවිධානය වී සිටියෝය.

මධ්‍යතන යුගයේදී සමාජය සමුපකාර පදනමක්‌ මත පිළියෙල වී තිබුණි. ශිල්පීන්ගේ වාසස්‌ථාන තිබුණු නගරවල ශිල්ප ශ්‍රේණිය සමුපකාර සංවිධානයක්‌ විය. ඊට අයත් සාමාජිකයෝ ඔවුනොවුන්ට ආධාර උපකාර කර ගත්හ. එවැනි සංගමයක උපකාරය නොමැතිව තනි පුද්ගලයාට ජීවත් වෙන්නට එකළ ඉඩක්‌ නොතිබුණේය. එකල විශ්ව විද්‍යාල පවා ඇතිවූයේ සමුපකාර ක්‍රමයටය. ක්‍රි.ව. 400ත් 1200ත් අතරතුර අවධියේදී ක්‍රිස්‌තියානි "මහා රාජ්‍යයේ" වැසියෝ රෝම අධිරාජ්‍ය කාලයේදී පැවති දියුණුව යළිත් ක්‍රම ක්‍රමයෙන් ඇතිකර ගත්හ. ඉඩම් වගාකළ ඔවුහු දිය බස්‌වා වගුරු බිම් සරු කළහ. කැලෑ එළිවූ අතර නගර සීඝ්‍ර ලෙස වැඩී ගියේය.

වැඩවසම් ක්‍රමයෙන් ඉටුවුණු විශාලතම මෙහෙයවන්නේ මනුෂ්‍යාට ශිෂ්ට දිවි පෙවෙතකට මඟ සලසා දීමය. වැඩවසම් යුගයේ යුරෝපය පිටස්‌තර ලෝකය හා සම්බන්ධතාවයක්‌ නැති හුදකලා ලෝකයක්‌ විය. එක්‌ එක්‌ ගමෙහි වැසියෝ තම තමන්ගේ පාඩුවේ තම දිවි පෙවෙත රැක ගත්තෝය. පිටස්‌තර පුද්ගලයින් සමඟ ගනුදෙනු කරන ලද්දේ ඉතාමත්ම සුළු වශයෙනි. එක්‌ එක්‌ දේශයෙහි පැවැත්මට ඉන් ඔබ්බෙහි ඇති රටවලින් වුණු බාධාවක්‌ හෝ බලපෑමක්‌ නොවීය. බුද්ධි පක්‌ෂයෙන් බලනවිට චින්තන ගෝචර භුමියද පූජක පක්‌ෂයේ බලයෙන් සීමා වී තිබුණේය. ශාස්‌ත්‍ර ඉගෙණීම දේවධර්මය හා නීතය යන දෙකට සීමා වී තිබුණි. ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස්‌ වන්නට විය. විවිධ අන්දමේ චින්තන ක්‍රමයන්ද, විවිධ රැකියාවන්ද පහළවී වැඩවසම් ලෝකය කඩා කප්පල් වී යාමට පටන් ගත්තේය. ඒ සමඟම වර්තමාන ලෝකයටද මඟ පෑදුනේය.

(c) Shilpa Sayura Foundation 2006-2017