යුරෝපයේ ආගමික ඒකාබද්ධ තාවය බිඳ වැටීම
 

දහසය වන සියවස මුල් කාලයේදී යුරෝපයේ පැවතුණ ආගමික ඒකාබද්ධ තාවය ඉවත්වන බවක්‌ දකනට ඇත. මධ්‍යතන යුරෝපය නූතන යුරෝපයට පරිවර්තනය කිරීමට අදාලවුණු බලවේගයන්ගෙන් එකක්‌ ලෙස මේ ආගමික ප්‍රතිසංස්‌කරණය සැලකිය හැකිය.


මධ්‍යතන යුගයේ මිනිසුන්ගේ ජීවිතයේ මුල් තැන ගත්තේ කතෝලික ක්‍රිස්‌තියානි ආගමය. රෝම අධිරාජ්‍යයට ගල ගෙන ආ මිලේච්ඡ ජනයා ශිෂ්ටකොට ඔවුන් තුළ මිනිස්‌ ගතිගුණ ඇතිකළ එකම මාර්ගය වූයේ පාප් වහන්සේගේ නායකත්වයෙන් පැවති රෝමානු කතෝලික ආගමයි. එසේම ලොව කිසිම රටක කිසිම ආගමික සංවිධානයකට හිමිව නොපැවති ස්‌ථානයක්‌ යුරෝපා ක්‍රිස්‌තු සභාවට හිමිව පැවතුණි. එසේම සෑම බටහිර යුරෝපා ජන කොටසක්‌ම කතෝලික භක්‌තිය පිළිගෙන සිටියෝය.


කතෝලික ආගම මහා ශාස්තෘවන්තයින් රාශියක්‌ ඇති කළේය. ශාස්‌ත්‍රාලෝකය නිවී යා නොදී රැක ගත්තේ මේ ආගම විසිනි. එසේ වුවත් 15 වන සියවසේදී කතෝලික සභාව ඇතැම් කරුණු අතින් පිරිහී තිබුණේය. ඇතැම් පූජ්‍ය තාපස ආදීන් ද එපමණක්‌ නොව ඇතැම් පාප්වහන්සේලාද ජීවිතය ගතකළ අන්දම භක්‌තිතුමන්ගේ සිත් කම්පා කිරීමට හේතුවිය.

පාප්වරුන් වැඩි වැඩියෙන් ලෞකික අංශය කෙරෙහි බරවෙමින් සිටියහ. නියම ලෙසින් ආගමික නායකයෙකුගේ තත්වයට වඩා එකාධිපති රජෙකුගේ තත්ත්වයක්‌ දැරූ බවක්‌ පාප් වරයාගේ ක්‍රියා කලාපයේ දක්‌නට ඇත. 10 වන ලියෝ 6 වන ඇලෙකසැන්ඩර්, දෙවන ජූලියස්‌ වැනි පාප් වහන්සේලා මේ කාලයේදී යුධ කටයුතු මෙන්ම නොයෙකුත් කුමන්ත්‍රණ ආදී කටයුතු වලත් යෙදෙමින් සිටි බවත් දක්‌නට ඇත. එසේම පාප් වහන්සේගේ චරිතය පවා එතරම් උසස්‌ තත්ත්වයක නොපැවතුණි.



මෙකල ක්‍රිස්‌තියානි සභාවේ දූෂණ වැඩි වීමට හේතු වූයේ පාප්වරුනුත් මේ කාලය වන විට මුදල් පිළිබඳව කටයුතු වල නිරත වී සිටි බැවිනි. මෙකල පාප්වරුන්, අධ්‍යාත්මික අංශයෙන් දිළිඳුවී සිටියත් ධනවත්කමින් උසස්‌ තත්ත්වයක්‌ ගෙන සිටියහ. නිලතල පල්ලිය මගින් ධනවත් අයට විකිණීම, මේ කාලයේ විශේෂ ලක්‌ෂණයක්‌ විය. මෙය 'සිමෝනි' ක්‍රමය නමින් හැඳින්විණි. 10 වන ලියෝ පාප් තුමා විසින් නිලතල දෙදාහක්‌ විකිණීමෙන් වසරකට ශුද්ධ ලාභය ලක්‌ෂ පහක්‌ ලබාගෙන ඇත.

එසේම ආගමික නඩු විසදන විට අල්ලස්‌ද ලබා ගෙන ඇත. මේ කාලයේ මරණයට කැපවුණු යම්කිසි වරද කරුවකු පිළිබඳව පාප් වහන්සේ ප්‍රකාශ කළේ දෙවියන් වහන්සේ වරද කරුගේ මරණය අපේක්‌ෂා නොකළත් වරදකරු ජීවත් වීමට මුදල් ගෙවිය යුතු බවත්ය. මේ ප්‍රකාශයෙන් මෙකල ක්‍රිස්‌තු සභාවේ කෙතරම් දූෂණ කටයුතු තිබුණේද යන්න පැහැදිලි වේ. කතෝලික සභාවේ පැවතුණු පූර්ණ පල ප්‍රදානය කිරීමත් මේ කාලයේ ධනය රැස්‌ කිරීමේ ප්‍රධානතම මාර්ගයක්‌ විය. මේ අන්දමින් සමා කිරීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ගෙවූ අතර යම්කිසි අරමුදලකට විශේෂ ආධාර දීමෙන් සියලුම පව් සමා කිරීමට හැකි බව මෙකල අදහස විය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017