පර්ඩිනන්ඩ් මැගලන්
 

ලොව වටා සමුද්‍ර චාරිකාවක යෙදුන ප්‍රථම නැවියා පර්ඩිනන්ඩ් මැගලන්ය. පෘතුගීසි ජාතික වංශවතෙකු වූ ඔහු ක්‍රි.ව. 1480 දී උපත ලැබුවේය.


කොළොම්බස්‌ගේ මුහුදු චාරිකා වලින් පසුවද බටහිරට යාත්‍රා කොට ඉන්දියාවට පිවිසීමට හැකිය යන මතයෙහිම පිහිටි ස්‌පාඤ්ඤ රජතුමා පර්ඩිනන්ඩ් මැගලන් ඒ කාර්යය සඳහා යෙදවූයේය. මැගලන් මුලදී පෘතුගීසි රජතුමා වෙත සේවයේ යෙදී වරෙක නාවිකයෙකු ලෙස ඉන්දියාව ඇතුළු සමහර පෙරදිග රටවලට පැමිණීමෙන් ලබන ලද පල පුරුදුකම් ඇතිව සිටියේය. ක්‍රි.ව. 1519 දී සැප්තැම්බර් 20 දින නාවිකයන් 2701 සමඟ නැව් 51 කින් ඔහු සිය ලෝක චාරිකාව ආරම්භ කළේය. ඔහු අත්ලාන්තික්‌ සාගරය හරහා දකුණු ඇමරිකාව දෙසට යාත්‍රා කළේය.



මේ කාලය වන විට දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි තුඩුව දක්‌වා යාත්‍රා කිරීමට කිසිම නාවිකයෙකු දැන නොසිටි අතර, එයින් ඔබ්බට යාත්‍රා කළ හැකි බවක්‌ද කිසිවෙක්‌ නොදත්හ. ගමනේ පර තෙරක්‌ නොදුටු නාවිකයෝ තවත් ඔබ්බට යාත්‍රා කිරීම ප්‍රතික්‌ෂේප කොට කැරළි ගැසූහ. එක නැවක්‌ රහසේම පළා ගියේය. එහෙත් කැරළි කරුවන් මැඬ පැවැත්වූ මැගලන් ධෛර්ය සම්පන්නව තව තවත් ඉදිරියට යාත්‍රා කොට දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි දෙපස උස්‌ මුහුදු කුළු වලින් ගහන, මෙකල මැගලන් සමුද්‍ර සන්ධිය නමින් හදුන්වන කපොල්ලෙන් ඔබ්බට යාත්‍රා කොට මහත් සාගරයකට පිවිසියේය. එය පැසිපික්‌ සාගරයයි.


ඉන් පසුව තව තවත් වයඹ දෙසට යාත්‍රා කළ හේ පිලිපීන් දූපත් වෙත ළගාවූයේය. එහිදී මැගලන් ස්‌වදේශිකයන් සමඟ කළ සටනකින් මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසුව ඩේල්කානෝ නම් නැවියා එම කණ්‌ඩායමේ නායකත්වය ගෙන ඉදිරියට යාත්‍රා කළේය. මේ වන විට ඔවුන්ට ඉතිරිව තිබුණේ නැව් දෙකක්‌ වුවද, එයින්ද එකක්‌ බරපතල ලෙස අබලන්වූයෙන්, මොලූක්‌කාස්‌ දූපත් අසලදී මුහුදුබත් කිරීමට සිදුවිය. ඉතිරි නැවෙන් ගමනෙහි යෙදුණු පිරිස ඉන්දියන් සාගරය තරණය කොට සුබ පැතුමේ තුඩුව වටා ගොස්‌ අත්ලාන්තික්‌ සාගරයට පිවිස අප්‍රිකාවේ බටහිර වෙරළ ඔස්‌සේ ස්‌පාඤ්ඤයට ආපසු පැමිණියහ.

(c) Shilpa Sayura Foundation 2006-2017