වස්‌කෝද ගාමා
 

ක්‍රි.ව. 1453 දී තුර්කීන් විසින් කොන්ස්‌තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් අනතුරුව යුරෝපයේ සිට පෙරදිගට ගොඩබිමින් ගමන් ගන්නා මාර්ගය අනතුරුදායක විය හැකි බවත්, අපහසු බවත් පැහැදිලි විය. පෙරදිග රටවලින් යුරෝපයට ලැබුණු කුළු බඩු සහ වෙනත් වෙළඳ ද්‍රව්‍යය සැපයීමට මේ නිසා බාධාවක්‌ ඇතිවිය. එසේම යුරෝපයට වෙළඳ ද්‍රව්‍ය සැපයීම පාලනය කිරීමේ බලයත් තුර්කීන්ට තිබීම නිසා පෙරදිගට යාහැකි මුහුදු මාර්ගයක්‌ සෙවීමේ අවශ්‍යතාවය වෑඩිවිය. පෘතුගාලයේ නැවියෝ මේ කාර්යයෙහි මුල් තැනක්‌ ගත්හ.


ක්‍රි.ව. 1448 දී ඩිගෝකෑම් නම් පෘතුගීසි නායකයා අප්‍රිකාවේ බටහිර වෙරළ ඔස්‌සේ කොංගෝ ගංඟාවේ මෝය දක්‌වා පහළට යාත්‍රා කළේය. 1488 දී මෙහිදී බර්ලොමියු ඩයස්‌ අප්‍රිකාවේ දකුණු තුඩුව ඉක්‌මවා යාත්‍රා කළේය.
මෙහිදී කුණාටු නිසා බියපත් වී ආපසු හැරී ගිය ඔහු අප්‍රිකාවේ දකුණු කෙළවර පසු කරමින් ඉන්දියා සාගරයට පිවිසිය හැකි මාර්ගයක්‌ ඇති බව පෘතුගාලයේ රජුට සැළකර සිටියේය.

බර්තොලමියු ඩයස්‌ මේ දකුණු තුඩුවට 'කුණාටු තුඩුව' යයි නම් නමුත් පෘතුගාලයේ රජු ඊට සුභ නිමිති තුඩුව යන නම තැබුවේය. ඒ මෙය ඉන්දියාවට මඟක්‌ සොයා ගැනීමේ සාර්ථක වන බවට සුභ නිමිත්තක්‌ වන බැවිනි.
දකුණු අප්‍රිකාව පසු කොට ඉන්දියාවට පැමිණීමේ මහා අභිලාශය මුදුන් පමුණුවා ගන්නා ලද්දේ නිර්භීත නාවිකයෙක්‌වූ 'වස්‌කෝද ගාමා' විසිනි. ඔහු පෘතුගීසි වංශ වතෙකි. එමෙන්ම ඉතා දක්‌ෂ නැවියෙකි. රණශුර සෙබළෙකි. ක්‍රි.ව. 1460 දී ඔහු උපත ලැබුවේ යැයි විශ්වාස කරනු ලැබේ. 'පැලෝස්‌' නම් පෘතුගීසි වරායට නුඳුරුව පිහිටි 'සිනෙස්‌' නම් කුඩා නගරය ඔහු උපන් ස්‌ථානයයි. කුඩාවියේ සිටම ඔහු මුහුදට ඇලුම් කළේය.

පෙරදිගට පැමිණීමට මුහුදු මාර්ග සෙවීමෙහිලා උනන්දු වූ පෘතුගාලයේ පළමුවන මැනුවල් රජතුමා ඒ සඳහා නැව් හතරක්‌ සූදානම් කොට එහි නෞකාධිපතිධුරය වස්‌කෝදගාමාට පිරි නැමුවේය. ක්‍රි.ව. 1497 ජූලි මස 1 වන දින වස්‌කෝදගාමා සිය ඓතිහාසික ගමන ආරම්භ කළේය. බටහිර අප්‍රිකාව වටා පිහිටි මහා සාගරයේ වෙරළට ආසන්නව මාස ගණනාවක්‌ යාත්‍රා කිරීමෙන් අනතුරුව, දකුණු දෙසෙහිදී තද ශීතල සුළං සහිත චණ්‌ඩ මාරුතවලට ඔවුනට මුහුණ දීමට සිදුවිය. කුණාටු සහිත මුහුදේ ඒ මේ අත විසිවෙමින් යාත්‍රා කළ නැව් හසුරුවා ගැනීමට පවා අසීරු වී ගිය කල, බියට පත් නැවියෝ සිය ගම් රට බලා ආපසු යාත්‍රා කළ යුතු යැයි සිය නෞකාධිපතිට බල කළහ. එහෙත් බාධක මධ්‍යයේ තව තවත් එඩිතර වූ වස්‌කෝදගාමා ඉන්දියාවට පා තබන තුරු ගම රට බලා ආපසු නොයන්නෙමි යන අධිෂ්ඨානය ඇතිව ඉදිරියටම යාත්‍රා කිරීමට අණ දුන්නේය. ඔහුට විරුද්ධව නැවියන් කැරළි ගැසීමට සැරසෙත්ම කැරළි නායකයින් අල්ලා යදම් වලින් බැඳවීය.

ඉන්පසු ඔවුහු සුභ නිමිති තුඩුව ඉක්‌මවා යාත්‍රා කොට 1497 නත්තල් දවසේ 'නතාල්' ප්‍රදේශයට සේන්දු වූහ. එතැන් පටන් අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ ඔස්‌සේ යාත්‍රා කළ වස්‌කෝදගාමාගේ මේ ගමන අරාබි වෙළෙදුන්ගේ මහත් භීතයට හේතු විය. 1498 මැයි මස 22 දින ඔහු දකුණු බටහිර වෙරළෙහි පිහිටි 'කැලිකට්‌' වරායට සේන්දු වූයේය. මොවුන්ගේ මේ ගමනට මාස 10 ක්‌ පමණ ගතවිය. අප්‍රිකාව වටා ගොස්‌ ඉන්දීය සාගරය තරණය කොට ඉන්දියාවට පිවිසි පළමුවන යුරෝපීය කණ්‌ඩායම වූයේ වස්‌කෝදගාමා ඇතුළු පිරිසයි. මොවුන් එසේ ඉන්දියාවට පැමිණීමේ පරමාර්ථය වස්‌කෝදගාමා කළ ප්‍රකාශයකින්ම පැහැදිලිවේ.

'අපි ක්‍රිස්‌තු ධර්මය සහ කුළු බඩු සඳහා මෙහි පැමිණියෙමු' යනුවෙන් ඔහු කළ ප්‍රකාශය කැලිකට්‌හි ඉන්දියානු පාලකයන්ගේ බලවත් විවේචනයට ලක්‌විය. මේ හේතුව නිසා වස්‌කෝදගාමා සිය රට බලා යාත්‍රා කළේය. 1498 සැප්තැම්බර් 8 දින වස්‌කෝදගාමා සහ පිරිස පෘතුගාලයේ ලිස්‌බන් වරායට සේන්දු වූ අතර, රටවැසියෝ මහත් හරසරින් ඔවුන් පිළිගත්හ. ගමනාරම්භයේදී ඔහුට නැව් 4 ක්‌ තිබුණි. නැවියෝ 160 ක්‌ ද සිටියහ.

එහෙත් ආපසු ලිස්‌බන් වරායට සේන්දු වන විට ඉතිරිවූයේ එක්‌ නැවක්‌ හා නැවියන් 55 දෙනෙකු පමණකි. එහෙත් ඔහු ඉන්දියාවෙන් ඉතා අගනා භාණ්‌ඩ තොඟයක්‌ ගෙනාවේය. මේ ඓතිහාසික ගමනින් පසු වස්‌කෝදගාමා මහත් ගෞරවයටත් කීර්තියටත් පාත්‍ර විය. සතුටට පත් පෘතුගාලයේ රජු අති විශාල ධනයක්‌ වස්‌කෝදගාමාට තෑගි කළේය.

එසේම ඔහුට 'විඩිගියුරා' හි කවුන්ට්‌ පදවියද ප්‍රදානය කළේය. 1502 දී නැවත වරක්‌ ඉන්දියාවට යාත්‍රා කළ හේ එහි වෙළඳ ව්‍යාපාර කීපයක්‌ ආරම්භ කළේය. මේ සඳහා ඔහුට ස්‌වදේශීය පාලකයින් සමඟ අවි ගැටුම් වලටද මුහුණ පාන්නට සිදුවිය. ඉන් පසුව බොහෝ කාලයක්‌ පෘතුගාලයේ ජීවත් වූ වස්‌කෝදගාමා ඉන්දියාවේ පෘතුගීසි විජිතවල විසුරේ පදවියට පත්කරනු ලැබූ 1524 දී ඉන්දියාවට පැමිණියේය. එහෙත් ඒ වර්ෂයේම නත්තල් දිනට පෙරදින හෙතෙම මරණයට හෙතෙම මරණයට පත්වූයේය. ඔහුගේ දේහය කොවින්හි ප්රැන්සිස්‌කානු පූජකාරාම භුමියේ භුමදාන කරනු ලැබ වසර කීපයකට පසුව පෘතුගාලයට ගෙන ගොස්‌ විඩිගියුරා නම් කුඩා නගරයේ නැවතත් භුමදානය කරන ලදී. බාධක හමුවේ කීප විටකදී අධෛර්යමත් නොවීම ඔහුගේ චරිතයේ විශිෂ්ඨ ලක්‌ෂණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017