දැනට වසර පන්සීයකට පමණ පෙර විසූ බොහෝ දෙනා සිතුවේ පෘතුවිය ගෝලාකාර දෙයක් නොවන බවයි. පෘතුවිය පැතලි දෙයක් බව සිතු ඔවුහු එහි අවසානය අනන්ත වූ ගැඹුරක් සහිත පාතාලයක් බව විශ්වාස කළහ. එමනිසා මුහුදු ගමන් යාමට බිය වූ ඔවුන්ගේ ලෝකය පිළිබඳ දැනුම අල්ප විය. එකල විසූ නිදහස් චින්තකයන් මෙන්ම ක්‍රිස්‌ටෝපර් කොළොම්බස් ද පෘතුවිය ගෝලාකාර බව විශ්වාස කළේය. වර්තමාන ලෝකයට ඇමෙරිකානු මහද්වීපය සොයා ගැනීම පිළිබඳව ගෞරවය හිමිවන්නේ කොළොම්බස්‌ටයි.
ඉතාලියේ ජිනෝවා නගරයේ උපන් ඔහු දිළිඳු ඔහුගේ පියා රෙදි වියන්නෙක් විය. ක්‍රි.ව. 1451 දී ඔහුගේ උපත සිදුවිණැයි සමහරු විශ්වාස කරති. ඔහුගේ ළමා කාලය පිළිබඳ තොරතුරු සොයා ගැනීම දුෂ්කර වුවත් ඔහු කුඩා කළ සිටම නාවික ශිල්පය හා මුහුදු ගමන් පිළිබඳ පොත්පත් කියවීමට ඇලුම් කළ බව කියැවේ. කොළොම්බස් පෙරදිග රටවලට නව මාර්ග සෙවීමට තීරණය කළේය. යුරෝපයේ සිට බටහිරට යාත්‍රා කිරීමෙන් තම අරමුණු ඉටු වෙතැයි ඔහු සිතුවේය. එහෙත් ඔහුට එය ක්‍රියාත්මක කිරීමේදී නොයෙක් බාධක වලට මුහුණ දෙන්නට සිදුවිය. එයින් ප්‍රධාන වූයේ ආර්ථික ප්‍රශ්නයයි. කොළොම්බස්‌ගේ අදහස නිශ්ඵල දෙයක් ලෙස සැලකු කවුරුත් ඔහුට මුදලින් ආධාර කිරීමට මැළිවූහ. සමහරු මෙය අද්භුත ජනක ගමනක් ලෙස සැලකුහ.
කොළොම්බස් තමාගේ සැලැස්‌ම එකළ සිටි ධනවතුන්ට ඉදිරිපත් කළේය. පෘතුගාලයේ රජතුමා සහ එංගලන්තයේ හත්වන හෙන්රි රජතුමා පවා ඔහුට ආධාර දීම ප්‍රතික්‌ෂේප කළහ. එහෙත් කිසිම විටෙක අධෛර්යමත් නොවූ කොළොම්බස් ස්‌පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජතුමා සහ ඉසබෙලා රැජිණිය හමුවී සිය අරමුණු ඉදිරිපත් කළේය. ෆර්ඩිනන්ඩ් රජතුමා කොළොම්බස්‌ගේ වෑයමේ සාර්ථකත්වය කෙරෙහි සැක පහළ කළත් ඉසබෙලා රැජිණිය සිය ආභරණ පවා උකස්‌කොට ලබාගත් මුදල් ඔහුට ලබාදුන් බව කියැවේ.
වර්ෂ 1492 අගෝස්‌තු තුන්වන සිකුරාදා කොළොම්බස් ස්‌පාඤ්ඤයේ කේඩීස් වරායෙන් සිය ඓතිහාසික ගමන ආරම්භ කළේය. නැව් තුනක නාවිකයෝ සිය දෙනෙක් පමණ මෙම ගමනට සහභාගි වූහ. එයින් විශාලම නැව වූ 'ශාන්ත මරියා' හි ප්‍රධාන නැවියා වූයේ කොළොම්බස්‌ය. 'පින්ටා' සහ 'නීනා' නැමැති අනෙක් නැව් දෙකෙහි ප්‍රධාන නැවියන් වූයේ පින්සන් සොහොයුරන්ය. පුරා දින 21 ක් පුරා ගොඩබිමක සේයාවක්‌වත් නොදැක යාත්‍රා කළ නාවිකයෝ තවදුරටත් එසේ ගමන් කිරීමට බියවූහ. ඔවුන් සිය අරමුණු අත්හැර ආපසු යාත්‍රා කරන ලෙස කොළොම්බස්‌ට බලකළහ. එහෙත් කොළොම්බස් සහ පින්සන් සොහොයුරෝ කිසිවිටෙක අධෛර්යමත් නොවී ඉදිරියටම ගමන් කළෝය. අවසානයේදී කොළොම්බස් මුහුදට ඇද දමා තමන් ආපසු යාත්‍රා කරන බවට සෙසු නාවිකයෝ තර්ජනය කළහ. එහෙත් කොළොම්බස් නොසැලී සිටියේය.
දිනක් ඔවුහු අහසේ පියාසර කළ මුහුදු ළිහිණියන් දැක ධෛර්යමත් වූහ. ගොඩබිමක් ලඟම ඇති බව කා හටත් අවබෝධ විය. වර්ෂ 1492 ඔක්‌තෝබර් මස 12 දින අළුයම ඔවුන්ට ගොඩබිමක් දිස්‌විය. සතුටින් ඉපිලී ගිය නාවිකයෝ අහසට වෙඩි හඬ නිකුත් කළහ. පළමුවෙන්ම ඔවුන් එසේ දුටුවේ ඇමරිකා මහාද්වීපයට අයත් බහමාස් දිවයිනයි. කොළොම්බස් ඇතුළු නාවිකයෝ එම දිවයිනට ගොඩ බැස ස්‌පාඤ්ඤ ධජය එසවූහ.
පසුව ඔවුන් එයට 'ශුද්ධ ගැලවුම්කරු' යන අරුත් ඇති 'සෙන්ට් සැල්වදෝර්' යන නම තැබූහ. මෙසේ කැරබියන් මුහුදේ පිහිටා ඇති දිවයින් සොයා ගත් කොළොම්බස් එහි වැසියන් ඉන්දියානුවන් යැයි විශ්වාස කළේය. එමනිසා මෙම දිවයින් 'බටහිර ඉන්දීය දූපත්' නමින් අදත් හැදින්වේ.
වර්ෂ 1493 මාර්තු 15 දින ස්‌පාඤ්ඤයේ පැලොස් වරායට ළගාවූ කොළොම්බස් ඇතුළු නාවිකයෝ රටවැසියන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ. කොළොම්බස් ලබාගත් මෙම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන ෆර්ඩිනන්ඩ් රජු හා ඉසබෙලා රැජිණ අතිශය ප්‍රීතියට පත්වූහ. පසුව මෙම ශ්‍රේෂ්ඨ දේශ ගවේශකයා හට ඉතා උසස් අන්දමින් රාජ්‍ය ගෞරවය දක්‌වා ස්‌පාඤ්ඤ රජයේ උසස් පදවියකින් පුදනු ලැබීය. නව ලෝකය සොයා ගැනීමට මඟ හෙළිකළ ක්‍රිස්‌ටෝපර් කොළොම්බස් චරිත කතාවේ විශිෂ්ඨ චරිත ලක්‌ෂණ අතර නොපසුබට උත්සාහය අප කාටත් මහඟු ආදර්ශයකි.