නිකලස්‌ කොපර්නිකස්‌ (1473-1543)
 

නූතන නක්‌ෂත්‍ර විද්‍යාවේ පියා ලෙස සැලකෙන නිකලස්‌ කොපර්නිකස්‌ ක්‍රි.ව. 1473 පෝර්ලන්තයේ ටොරුන් නගරයේ දී උපත ලැබුවේය. විද්‍යාවට ඉමහත් මෙහෙයක්‌ කළ ඔහු පූජකවරයෙකි. ඔහුගේ පියා වෙළෙන්දෙකු වූ අතර, ළමා වියේ පටන් ම කොපර්නිකස්‌ ඇති දැඩි වූයේ ධනවත් කතෝලික බිෂෝප්වරයෙකු වූ සිය මාමා කෙනෙකු ළගය. මාමා තම බෑණනුවන් ගණිතය හැදෑරීම සඳහා පෝලන්තයේ ක්‌රැකෝට්‌ විශ්ව විද්‍යාලයට යැවුවේය. කොපර්නිකස්‌ විසිපස්‌වන වියට පා තබත්ම 1497 දී ප්‍රොන්බර්ග් දේවස්‌ථානයේ පූජක පදවියට පත් වූයේය. ඔහු තම ජීවිතයේ අවසානය දක්‌වාම මේ පදවිය දැරුවේය.


තරුණ කොපර්නිකස්‌ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට ගොස්‌ බොලොඤ්ඤා හීදී නීතියත්, පැඩුවා හීදී වෛද්‍ය විද්‍යාවත්, ඉගෙන ගත්තේය. ක්‍රි.ව. 1500 දී ඔහු රෝම විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත්විය. නැවත 1507 දී සිය උපන් බිමට ආපසු පැමිණි හේ සිය මාමණ්‌ඩියගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් කටයුතු කළේය. මේ කාලයේදී අධික කාර්ය බහුලත්වය නිසා විවේකයක්‌ නොලැබුණත් ඉඩලත් සෑම අවස්‌ථාවකදී ම අහසේ ඇති තාරකා පිළිබඳව ඔහු අධ්‍යයනයෙහි යෙදුණේය. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලෙස පෘථිවිය සිය අක්‌ෂය වටා භ්‍රමණය වන බවත්, එය සහ අනෙක්‌ ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන බවත් ඔහු අවබෝධ කොට ගත්තේය.


මේ නව මතය එකල පැවති මතයට වඩා හාත්පසින්ම වෙනස්‌ වූ එකක්‌ විය. එතෙක්‌ මේ සම්බන්ධයෙන් දැරූ මතය වූයේ සූර්යයා ඇතුළු අනෙක්‌ ග්‍රහලෝක පොළොව වටා ගමන් කරන බවයි. ඔහු 1530 දී පමණ තම නව අදහස්‌ ඇතුළත් කොට පොතක්‌ ලීවේය. එකළ පැවති අදහස්‌ වලට මේ මත පටහැනි වූ නිසා ඔහු මියයන තෙක්‌ම එම පොත පළකර නොතිබුණි. කෙසේ වුවද මොහුගේ වැඩ කටයුතු නිසා තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විද්‍යානුකුල අධ්‍යයනයකට මඟ පෑදුණේය.

(c) Shilpa Sayura Foundation 2006-2017