අකුණු සහිතව වැසි වසින විට පිට්‌ටනියක සිටගෙන සිටීම නුසුදුසුය.
 

165. කොස්‌, දෙල්, කරවිල ආදී ආහාර වර්ග නරක්‌ නොවී කල්තබා ගැනීමට වියලා ගනු ලැබේ.


ආහාර නරක්‌ වන්නේ ඒ මත ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසාය. තෙතමනය ඇති තැන්වල ක්‌ෂුද්‍ර ජීවීන් හොඳින් වර්ධනය වන නිසා ආහාර නරක්‌ වේ. එහෙත් කොස්‌, දෙල්, කරවිල ආදී ආහාර වියළීමේදී තෙතමනය ඉවත්වන නිසා ඒ තුළ ක්‌ෂුද්‍ර ජීවීන්ට ජීවත්විය නොහැකිය.


166. ගෙවල් සාදන ස්‌ථානවල මුක්‌කු ගැසීමට යොදා ගන්නා උණ බම්බු කෙළින්ම පොළොව මත නොසිටුවා පැතලි ලෑලි මත සිටවනු ලැබේ.


උණ බම්බු කෙළින්ම පොළොව මත සිට වු විට එය පොළොව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය අඩුය. එම නිසා ඒ මත යෙදෙන පීඩනය වැඩිවීම නිසා පොළවට එරී යයි. පැතලි ලෑල්ලක්‌ මත සිටුවූ විට ලෑල්ල පොළොව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිය.එබැවින් පීඩනය අඩු වී පොළොවට එරීයාම වැළකේ.


167. දොර ජනෙල් වසා ඇති කාමරයක භුමිතෙල් ලාම්පුවක්‌ දල්වාගෙන බොහෝ වේලාවක්‌ සිටීම ශරීර සෞඛ්‍යයට අහිතකරය.


කාමරයක දොර ජනේල වසා ඇතිවිට වායු හුවමාරුව හොඳින් සිදුවන්නේ නැත. එවැනි ස්‌ථානයක ලාම්පුවක්‌ දැල්වූ විට එහි දහනය සඳහා ඔක්‌සිජන් ලබාගෙන කාබන්ඩයොක්‌සයිඩ් පිට කරයි. මේ නිසා කාමරය තුළ ඇති ඔක්‌සිජන් ප්‍රමාණය අඩුවී කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ඉහල යයි. මෙම තත්ත්වය ශරීර සෞඛ්‍යයට අහිතකර වේ.


168. අකුණු සහිතව වැසි වසින විට පිට්‌ටනියක සිටගෙන සිටීම නුසුදුසුය.


වැස්‌ස අවස්‌ථාවලදී වඩා උස්‌ ස්‌ථානවලට අකුණු සැර වැදීමේ අවධානම වැඩිය. උස්‌ ගොඩනැඟිලි, උසු කුළුණු ඊට නිදසුන් වේ. පිට්‌ටනියක්‌ වැනි තැනිතලා බිමක සිට ගෙන සිටින මිනිසකු වඩා උසින් යුක්‌ත වස්‌තුව වේ. එම නිසා පිට්‌ටනියක සිටගෙන සිටින්නෙකුට අකුණු සැර වැඳීමේ අවධානම වැඩිය.

(c) Shilpa Sayura Foundation 2006-2017