මිහිතලය මත සියළු ජීවීන්ගේ පැවැත්ම හරිත ශාක මත රඳා පවතී.
 

157. සමාන ජල පරිමා තුළ ලුණු කැටවලට වඩා කෙටි කාලයකදී එම ස්‌කන්ධයම ඇති ලුණු කුඩු දිය වී යයි.


ලුනු කැට ජලය සමඟ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලයට වඩා ලුනු කුඩු ජලය සමඟ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිය. එම නිසා ලුනු කැටවලට වඩා ඉක්‌මනින් ලුණු කුඩු ජලයේ දිය වේ.


158. මිහිතලය මත සියළු ජීවීන්ගේ පැවැත්ම හරිත ශාක මත රඳා පවතී.



මිහිතලය මත ජීවත්වන සියළු සතුන්ට ආහාර ලබා දෙන්නේ හරිත ශාක මගිනි. මන්ද යත් ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත්තේ හරිත ශාකවලට පමණක්‌ නිසාය. එපමණක්‌ නොව ආහාර නිපදවීමේ දී ඔක්‌සිජන් වායුවද පිට කරයි. එම නිසා සියළු ජීවීන්ගේ පැවැත්ම හරිත ශාක මත රඳා පවතී.

159. හාල් වලට වැලි මිශ්‍ර වී ඇති විට ගැරීමෙන් ඒවා වෙන් කර ගත හැකිය.


හාල්වලට වඩා වැලි ඝනත්වයෙන් වැඩිය. එම නිසා ජලය දැමූ විට ඝනත්වයෙන් වැඩි වැලි කැට භාජනය පතුළට බසී. එවිට පහසුවෙන් සහල් හා වැලි කැට වෙන් කර ගත හැකිය.


160. විදුලි බුබුළු තුළ යොදා ඇත්තේ සාමාන්‍ය වාතය නොව අඩු පීඩනය යටතේ වූ ආගන් වැනි වායුවකි.


විදුලි බල්බය තුළ සාමාන්‍ය වාතය පිරවූ විට රත්වන විට සූත්‍රිකාව දැවී යයි. ආගන් වැනි නිෂ්ක්‍රීය වායුවක්‌ පිර වූ විට රසායනික ප්‍රතික්‍රියා සිදු නොවන නිසා සූත්‍රිකාව දැවී යන්නේ නැත. බල්බය තුළ සාමාන්‍ය පීඩනය යටතේ වාතය පුරවා ඇති විට රත්වීමේදී වාතය ප්‍රසාරණය වී බල්බය පුපුරා යයි. අඩු පීඩනයකින් යුක්‌තව වාතය පිර වූ විට එසේ පුපුරා යන්නේ නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017