යුතුකම
 

ළමයා : මොනවද මුත්තේ! මොකද කරන්නේ
මොකටද උඹ ඔය බිම හාරන්නේ

මහල්ලා : උඹටත් ළමයෝ නො පෙනෙති නො සිතමි
අඹ ඇටයක්‌ සිටුවන්නට හාරමි

ළමයා : දුකසේ සිටුවා අඹ ඇටයක්‌ අද
එක අඹයක්‌ වත් කන්ට ලැබේවිද

මහල්ලා : මම ළමයෝ මින් අඹයක්‌ නො පතමි
යුතුකම පමණක්‌ ඉටු කොට තබනෙමි

ළමයා : තමන්ට නො ලැබෙන දෙයකින් ලෝකෙට
කරන්ට හැකි දේ නො ම තේරේ මට

මහල්ලා : පුදුමයි ළමයෝ උඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට උඹට ම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්‌ වල
පලයෙන් අපි කවුරුත් ලබනමු පල

අපෙන් පසු ව එන අයටත් පල එම
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ළමයා : මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ ! මම යන්නෙමි

(c) Shilpa Sayura Foundation 2006-2017