1452 ප්ලෝරන්ස් පුරයේ වින්සි නම් කුඩා නගරයේදී උපත ලද ලියෛ`නාඩෝ ඩාවින්චි ඉතාලියේ පුනර්ජීවන සමයේ සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අතර අද්විතීය ස්‌ථානයක් දිනාගත් කෙනෙකි. එපමණක් නො ගෘහ නිර්මාණ ශිල්පියකු, මූර්ති ශිල්පියකු, සංගීතඥයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් මොහු ගණිතය, භු විද්‍යාව, ඉංජිනේරු ශිල්පය ගැනද පුළුල් අවබෝධයක් ලැබ සිටියේය.
වෙරොකියෝ යටතේ කලා අධ්‍යාපනය අවසන් කළ ඩාවින්චි තිස් හැවිරිදි වූ විට මිලාන් නගරයට ගොස් මිලාන්හි ආදිපාදවරයා හමුවිය. මිලාන් ආදිපාදවරයා සහ ඔහුගේ බියට්‌රීස් ටෙස්‌ටා නම් රූමත් බිසවද කලා ලැදියෝ වූහ. ඔවුන්ගේ අනුග්‍රහය ලබා, ඔවුන් යටතේ සේවයට බැඳුණු ඩාවින්චි තමන් සතු අපූරු නිර්මාණ කෞෂල්‍යය විදහා පාමින් අගනා කෘතීන් කීපයක් බිහි කළේය. එදා පමණක් නොව අදත් මතුවටත්, ලොව රස දත්තවුන් මවිතයට පත්කරන ශ්‍රේෂ්ඨ කලා කෘතියක් වූ ක්‍රිස්‌තුස් වහන්සේගේ 'අන්තිම රාත්‍රී භෝජනය' නම් චිත්‍රය මොහු නිර්මාණය කළේ මිලානයේදී ය. මේ උසස් චිත්‍රය ඔහු මිලානයේ ශාන්ත මරියා ඩෙල්ලා ග්‍රෙසීහි ඩොමිනිකන් තාපසාරාමයක සිත්තම් කළේය. අඩි 28ක් දිග අඩි 14ක් පළල මේ සිත්තම මුළු බිත්තියම වැසී යන ලෙස ඇඳ ඇති අතර එය නිම කිරීමට ශිල්පියාට වසර තුනක් ගතවිය. වසර කිහිපයකට පසුව මේ මහඟු සිතුවමට යොදන ලද වර්ණවල දීප්තිය අඩුව යන්නට විය. එසේ වූයේ බිත්තියේ තෙත් ගතිය පැවති හෙයිනි. නැපෝලියන්ගේ සටන් වලදී එයට තවදුරටත් හානි සිදුවිය
1500 දී මිලාන්හි ලූඩ්විකෝගේ පාලනය ප්‍රංශය විසින් පෙරළා දැමීමෙන් පසුව ඩාවින්චි ප්ලෝරන්ස් නගරයට ආපසු ගියේය. ලෝකයේ සුප්‍රසිද්ධ ඉතා විශිෂ්ඨ කලා කෘතියක් ලෙස ගැනෙන මොනාලිසා නම් චිත්‍රය ඩාවින්චි විසින් අඳින ලද්දේ මේ කාලයේදී ය. මෙම විචිත්‍ර චිත්‍රයෙන් පිළිබිඹු වන්නේ ප්ලොරන්ස් නගරයේ විසූ 'ප්‍රැන්සෙස් කෝද ගියොකොන්ඩෝ' නම්තැනැත්තාගේ බිරියගේ පිළිරුවයි. ඇයගේ ප්‍රභාමත් මුහුණත්, දෙතොලඟ අඩ සිනාවත්, විකසිත දෙනුවන් වල බැල්මත්, ශිල්පියා නිරූපනය කළ අයුරු ඉතා රමණීය. පසු කලෙක ප්‍රංශයේ ප්‍රැන් කොයිස් රජුගේ ඇරයුම පරිදි ප්‍රංශයට ගිය මෙම කලාකරුවා ස්‌වකීය තෙලිතුඩින් සාර්ථක ලෙස නිමවුණ මේ කලා කෘතියද ගෙනයාමට අමතක නොකළේය. දැනට පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තබා ඇති මෙම චිත්‍රය ඩාවින්චිගේ කීර්තිය අමරණීය කරයි.
ලියනාඩෝ ඩාවින්චි ඉතා කාරුණික නිහතමානී පුද්ගලයෙක් විය. විකිණීම සඳහා කුඩුවල දමා සිටි කුරුල්ලන් දුටු මොහු තුළ ඇතිවූයේ දයානුකම්පාවකි. ඔහු ඒ කුරුල්ලන් මිලදී ගෙන මුදා හැර ප්‍රීතියට පත්විය. එසේම මොහු දක්‌ෂ අශ්වාරෝහකයෙකි. අශව ලාඩමක් අතින් ගෙන දෙකට නැමිය හැකි ශක්‌තියක් මොහුට තිබුණි.
දක්‌ෂතාවයන් රැසකින් යුත් මේ අපූරු කලාකරුවා 1519 දී මෙලොවින් සදහටම සමු ගත්තේය.
/res/art/davinci/index.htm?gp=3710
/uniportal/merc/info.asp?xi=3801
/uniportal/merc/info.asp?xi=3836