යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ පරිහානිය
 

ජනගහනය වර්ධනය වීම, හේවා ජනයා අධිපතීන් යටතේ සංවිධානය වීම, එකම රාජ්‍යයක්‌ ලෙස එකමුතුකම පිළිබඳ හැඟීම වර්ධනය වීම යන මේ කරුණු හේතු කොට ගෙන ක්‍රි.ව. 1200 වන විට ක්‍රිස්‌තියානි මහා රාජ්‍යය ප්‍රබල සාධකයක්‌ බවට පත්වී තිබුණේය. යුධ කිරීමටත්, යුධ කටයුතු ආගමික කටයුතු හා විදේශ කටයුතු සඳහා සහභාගි වීමට තරම් බලයක්‌ ඊට ඇති විය. කුරුස යුද්ධ වැඩවසම් යුගයේ ක්‍රිස්‌තියානි මහා රාජ්‍යය පැතිරයමින් තිබූ බවට නිදර්ශනයකි. 9 වන 10 වන සියවස්‌ වලදී, මුස්‌ලිම් රාජ්‍ය බල පුළුවන් කමින්ද, ශිල්ප ශාස්‌ත්‍රය හා සංස්‌කෘතිය අතින්ද වැඩවසම් යුගයේ යුරෝපයට වඩා ශ්‍රේෂ්ඨ විය. මේ නිසා කුරුස යුද්ධ හේතු කොටගෙන ක්‍රිස්‌තියානින්ට තමන්ට වඩා ශිෂ්ට වූ ලෝකයක්‌ සමඟ ආශ්‍රය කිරීමට සිදුවිය. මේ ආශ්‍රය හේතුවෙන් ක්‍රිස්‌තියානි ලෝකයට සැලසුණේ මහත් සෙතකි. ඔවුන්ගේ අධ්‍යාපනයේත්, චින්තනයේත් නව මුහුණුවරක්‌ ඇතිවිය.



එසේම ඔවුහු විදේශයන් සමඟ වෙළඳාම ද පටන් ගෙන තිබුණු බැවින් දැනීමද දියුණු වී තිබුණි. වැඩවසම් ලෝකය කඩාකප්පල් වීමට
වෙළඳාම ද එක්‌ හේතුවක්‌ වූයේය. වෙළඳාම නිසා මුදල් ඉපයීම එකම පරමාර්ථය කොටගත් නව පන්තියක්‌ බිහිවිය. මේ නව පන්තිය වැඩවසම් ක්‍රමයට ගරු නොකළහ. ඔවුන්ගේ එකම අපේක්‌ෂාව වූයේ ලෞකික සැප සම්පත්ය. වෙළඳාම නිසා මුදල් භාවිතය ඇතිවූ අතර මේ හේතුවෙන් රාජකාරි ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට මුදලින් වැටුප් ගෙවීමට හුරු පුරුදු විය. මෙහිදී සියලුම ජනයාට පෞද්ගලික නිදහස හිමිවිය. වත්කම ඇති කිසිවෙකු මින් පසුව තමන්ගේ වැඩපළවලට අවශ්‍යය අගනා කාලය තම ස්‌වාමියාට සේවය කිරීම සඳහා බැඳී නොසිටියෝය. ඔහු තම ස්‌වාමියාට මුදලින් ගෙවා ස්‌වකීය වැඩෙහි නිරතවීමට නිදහස ලැබුවේය. මෙසේ ස්‌වාමියාට තිබූ බැඳීම අඩු වු අතර ස්‌වාමියාට මුදල් ද ලැබුණේය. එසේම ස්‌වාමියා, තමාගේ ඉඩම් ලද්දන් කෙරෙහි පැවති බලපෑමද ලිහිල් වී ගියේය.

මුදල් භාවිතය ඇති වූ බැවින් මුදලින් අය ගැනීමට හැකිවිය. රජවරු තමන්ගේ යුද්ධ සඳහා හේවා පිරිස ලබා ගැනීමට පෙරදී තරම් රදළ බැරන්වරුන් කෙරෙහි බලාපොරොත්තු තැබුවේ නැත. එසේ වුයේ යුධ කටයුතු සඳහා හේවායන් බඳවා ගැනීමට රජවරුන්ට මුදල් තිබූ බැවිනි. ඕනෑම රජෙකුට ස්‌වකීය සේනාවක්‌ තබා ගැනීමට හැකිවිය. මෙයින් රදළ අධිපතීන්ගේ පිටිවහල කෙරෙහි බැඳී සිටි මහා ආණ්‌ඩුව ඒ තත්ත්වයෙන් මිදී සෛවරී විය. මින්පසුව රජුට තම රට පුරා නීතිය ක්‍රියාත්මක කිරීමටත් රටේ සාමය පවත්වා ගැනීමටත් හැකිවූයේය. වැඩවසම් යුගයේදී රජුත් රදළ අධිපතිනුත් අතර වෙනසක්‌ වූයේ නැත. ඔවුන් සියල්ලන්ම සිටියේ එක සමාන තත්ත්වයකය. රජු මේ පිරිසේ මූලිකයා පමණක්‌ විය. එහෙත් මෙයින් රජු සියල්ලන්ගේම අධිපතියා බවට පත්විය.



වැඩවසම් යුගයේදී ඉතාමත්ම යහපත් ක්‍රමය ලෙස ගණන් ගැනුණේ අධිරාජ්‍යයකි. මේ ක්‍රමයේදී කුඩා රාජ්‍යයෝ අධිරාජයාට කීකරුව
සිටියහ. එහෙත් දැන් ඒ වෙනුවට බිහි වෙමින් පැවතියේ රජවරුන් යටතේ පවත්නා ස්‌වාධීන රාජ්‍යයන්ය. මේ නව ස්‌වාධීන රාජ්‍යයන් ඇතිවීමෙන් "අධිරාජ්‍යය" සංලක්‌පය අහෝසි වී ගියේය. නව රාජ්‍යවලට නව වෙළඳ පන්තියේ සම්පූර්ණ සහයෝගය හිමිවූයේය. මීට හේතුව වූයේ බලවත් රජෙකු යටතේ රට පාලනය වනවිට නීතිය හා සාමය රැකීමත් හේතුවෙන් වෙළෙදුන්ට තම කටයුතු සාර්ථකව කර ගැනීමට හැකිවීමත්ය. වැඩවසම් යුගයේදී සිටි අධිපතීහු බොහෝ විට වෙළෙදුන්ට හිංසා පීඩා කළහ. විවිධ වර්ගයේ බදු අයකල  අතර වෙළෙදුන්ගේ මුදල් කොල්ලකෑම පවා කරනු ලැබීය. එහෙත් එවැනි අකටයුතු වලට නව රාජ්‍යයන්ගෙන් දඩුවම් හිමිවන බව අවබෝධ කොට ගත් අධිපතීහු ඒවායින් වැළකුණේය.

අලුත් පොහොසත් වෙළඳ පන්තිය පෙරදී මෙන් කුලය මුල්කොට නොව ධනය මුල්කොට ඇති රදළ පන්තියක්‌ බවට පත්වූහ. මේ නව පන්තිය අධ්‍යාපනයට හා කලාවට මුදලින් හා ඇප උපකාරයෙන් සංග්‍රහ කළහ. ලෞකික ජීවිතය කෙරෙහි මුල් තැන දුන් ඔවුහු විනෝදය හා සෞන්දර්ය ගරු කළහ. මේ නිසා කලාකරුවෝ ධනවතුන්ගේ අනුග්‍රහය ලබමින් නව නිර්මාණ බිහි කරන්නට වූහ.


ලෞකික, සංගීතය, කලාව හා කාව්‍යය ඉදුරන් පිනවීමක්‌ සේ සලකා වැඩවසම් ලෝකයා විසින් අකැප සේ ගැනුණු නමුත් නව ලෝකය මෙලොව ජීවිතය සර්ව සම්පූර්ණත්වයෙන් පවත්වාගෙන යාම පවකැයි නොසැලකීය.

(c) Shilpa Sayura Foundation 2006-2017