යුරෝපයේ වැඩවසම් ක්‍රමය
 

ජාතීන් රාශියකට පොදු නීති පද්ධතියක්‌ යටතේ වාසය කිරීමට හැකිය යන හැඟීම බටහිර ලෝකයාට රෝම අධිරාජ්‍යයෙන් ලැබුණු එක්‌ දායාදයකි. මේ හැඟීම නිසා පොදු ආගම ධර්මයක්‌ පැවති ජනයාට ලෝකෝත්තර සාමය විඳීමට හැකිවූ අලුත් ආකාරයේ අධිරාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමට හැකිවිය. මේ අලුත් අධිරාජ්‍යය වූයේ ක්‍රිස්‌තියානි මහා රාජ්‍යයයි.


එය පැවතියේ රෝම අධිරාජ්‍ය මෙන් ලෞකික පාලනය මත නොව ආගම ධර්මය මුල්කොට ගෙනය. අධිරාජයා හා ඔහුගේ පාලන පිරිස යටතෙහි රෝම අධිරාජ්‍යය පැවතියාක්‌ මෙන් මේ නව ක්‍රිස්‌තියානි මහා රාජ්‍යය පාලනය වූයේ පාපතුමා මූලික කොටගත් පූජක පරම්පරාව හා කතෝලික සභාව මගිනි.






මේ අධිරාජ්‍යය පැවතුණේ බටහිර යුරෝපයෙහි ය. ඩැන්සිග් නගරයේ සිට අද්‍රියාතික්‌ මුහුද කරා යන රේඛාවකින් බටහිරට පිහිටි ප්‍රදේශය බටහිර යුරෝපය වශයෙන් හදුන්වයි. මේ රේඛාවට නැගෙනහිර දිශාවෙන් (ලෝකෝත්තර රාජ්‍යය) නැගෙනහිර ක්‍රිස්‌තියානි සභාව පිහිටියේය. මෙම බටහිර කොටසට පාප් වහන්සේ නායකයා වූ අතර නැගෙනහිර කොටසේ නායකයා වූයේ පීතෘ රාජ නැමැත්තෙකි.

රෝමය බටහිර කොටසෙහි මධ්‍යස්‌ථානය වූ අතර ලතින් පාලන භාෂාව විය. නැගෙනහිර පාලන මධ්‍යස්‌ථානය කොන්ස්‌තන්ති නෝපලය වු අතර භාෂාව ග්‍රීක්‌ ය.


මේ නැගෙනහිර ලෝකෝත්තර මහා රාජ්‍යයෙහි ජීවත්වූ වැසියා පරලොව කෙරෙහි සිත් යොමු කළ අතර, මේ ලෝකය දුක්‌ සසරක්‌ බවද, ස්‌වර්ගය කරා යන මාර්ගයෙහි එක්‌තරා නැවතුම් පොළක්‌ පමණක්‌ බවද ඔවුහු විශ්වාස කළහ. බටහිර රෝම අධිරාජ්‍යයෙහි ක්‍රිස්‌තියානි ආගමිකයෙකු මෙලොවට බිහිවූදා සිට මියයන තෙක්‌, ඔහුගේ ජීවිතයෙහි සෑම අංශයක්‌ ම පාලනය කරනු ලැබුවේ පූජක පක්‌ෂය විසිනි. මනුෂ්‍යයන් ශිෂ්ටකොට සුචරිතවත් සමාජයක්‌ ඇතිකරලීමට උපකාරිවූයේ ක්‍රිස්‌තියානි සභාවයි. බටහිර යුරෝපයේ ආර්ථික ජීවිතය රඳා පැවතියේ ඉඩම් වගා කිරීම හා දියුණු කිරීම විශේෂ ලක්‌ෂණය කොටගත් "වැඩවසම් ක්‍රමය" මතයි. මෙය යුරෝපා ශිෂ්ඨාචාරයේ පදනමයි. මේ කාලයේදී සමාජ ක්‍රමයේ පැවති සෑම අංගයක්‌ම වැඩවසම් ක්‍රමය අනුව සංවිධානය විය.

 

(c) Shilpa Sayura Foundation 2006-2017