මෙලෙසින් අඩමින් ඉකි බිඳ බිඳා
තද සෝ දුක් ඉවසනු බැරි හඳා
වනයේ දෙවියන් හට යැද යැදා
මෙලෙසින් බිසවුන් සිටිනා සදා
සක් දෙවි මෙපවත් දකිමිනේ
එක් කරුණක් කරමැයි සිතමිනේ
එක් සැනෙකින් අවුදින් බසිමිනේ
දුක් වැද සිටි බිසවුන් දකිමිනේ
බඩ සාදුකට ගෙනියන මස් කැටිය ලොලා
බිම තබමින් ගඟ යන මසුට ලොබ වෙලා
උඩ යන උකුසු අරගෙන ගියෙ පසු නොබලා
දැන දැන මෝඩකම් තෝ හිවලා
මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා
කැලේ උපන් වැදි රජෙකුට ලොබ බැඳලා
පැළඳි ආබරණ ගඟගකින් එතෙර කලා
මටත් වැඩිය අනුවන කම් බිසොත් කලා
සකිය නොකිය නොකියන රහස කාටත්
සකිය නොකිව්වේ සැල නොවද කාටත්
කඩුව අතට දී හිමි මැරෙව්වාටත්
මදිව ඇද කෑව ලෙස වේය කාටත්
මල්මද බිසව දිව ඇද කාගෙන විගස
සක්රජ සිවල් වෙස් ගත් දකිමින් දෙඇස
සිඳ බිඳ කුල සිරිත් දැමුවෙන් වන් දොහොස
විනිවිද මුවරසා කරමුගුරු ගිය ලෙස
නුගුණ මෙම බිසව නිරිඳුට කල දොහස
ඇඳින ලොව වසන අඟනුන් මතු දවස
පෙමින දුසිරි දුරු කරමින් සොඳ විලස
වසන ලෙස නිතර මම යදිනෙමි මෙලෙස
