අකකින් පමණ වෙනසක් නොව ඉඳ තදිනේ
දියෙකින් නැගුනු ගින්නක් මෙන් විය මෙදිනේ
ඉතිකින් කෙලෙස වෑවෙම් දෝ හිමි සඳිනේ
ඇදගත් තදින් විදි සැර නොවැරදී වැද
බියපත් මුවෙන් වැගිරෙන ලේ රැලිනි බිඳ
බලවත් දුකින් වැලපෙන හිමි නුඹ වැළඳ
මගෙනෙත් දෙකින් සේදී ගලනේය අද
විගසක මහත් අකුසල් බලයෙන් නොමද
අහසක දියක ගිරිලෙන සිටිය මුත් වැද
නොවලක පලදේය කී බසසෙ මුනි රද
අදසැක හළෙමි අත්පිට බොරු නොවන ලෙද
අතක් බෝසතුන් ළෙහි තබමින් විමසා
මදක් සැලි සැලී පණ නල තිබෙන නිසා
පසක් තෙදැති දෙවියන් යදිමින් නොලසා
නැතත් කන්නලව් බස් පැවසිය මෙලෙසා
හමන සුවඳ සිසිලෙස ලිය මඩුලු වෙලා
ගිමන නිවා සතපා උනිමි ලොබ වෙලා
පමන නොමැති තැව්ලිය ලැව් ගිනිසේ වෙලා
කුමන සැපද වින්දේ හිමි සමගි වෙලා
ටිකකුත් දුකක් නොව විසු අප දෙන්නාට
බලවත් වියෝ අද විය කියනෙමි කාට
මැදහත් වෙලා සිටිනා ලොව සුදනන්ට
මිහිකත් සඳාවත් වෙනු පිහිටක් මීට
ඇසක් සඳිසි පියකරු මගෙ හිමියන්ඩ
දොසක් නැතිව අතරක විය මියයන්ඩ
මිසක් බැරිය මෙදුකට පිහිටක් වෙන්ඩ
පසක් තෙදැති මැදහත් ඉරි දෙවියන්ඩ
මන පිනමිනේ සුරඟන සමඟ නියතිනේ
තැන තැන වනේ තුර තුර වසන නිදුකිනේ
වන දෙවියනේ දැන් මට වූ වියොදුකිනේ
සැනසෙමි අනේ තොපගෙන් වෙන පිහිටකිනේ
සොඳ ඉක්‌මන් මගෙ හිමිහට පැමිණි මුලා
ඉඳ දැක්‌මෙන් වාගත හැකි කෙසෙද බලා
අද සක් දෙවිඳු මෙවියෝ දුක් නුදුටු කලා
ලද දහසක් නෙතින් කිමදෝ ඇති වූ පලා
සිඳ ගන විලස තුනු රුසිරෙන් සඳ දිස්‌නා
ලඳ ගන කිඳුරු ලෙහි වැදි තද ගිනි රස්‌නා
විදමින සුරන් අග පත් කොට සුපසස්‌නා
වැද හුනුවිය සුර රඳ පඬුපුල් අස්‌නා