කිඳුරී ලගින්නේ ඌගේ තුරුල්ලේ
දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
කිඳුරා ගොසින් වැටුනයි පුර මඩුල්ලේ
ඇදගනිමින් කුණ පරුවත මුදුන ඉඳා
ඉස තබමින් උකුලත සිප බඳ වැළඳා
අත තබමින් හිස දෙනුවන් කඳුලු වැඳා
රජුට මෙවන් බස් පැවසිය වියරු වැඳා
එද්දේ උබය කුල තුන්ලොව පසිද්දේ
බැද්දෙ ඇවිදිනා දඩයමෙහි එද්දේ
සද්දේ ඇසී ඇවිදින් ලොව පසිද්දේ
වැද්දෙක් නොවෙයි මොහු රජ කෙනෙකි විද්දේ
සතුරු එබය නැති මේ වන මැද දියසා
කිඳුරු රජුන් බිම හුනු බව දැක දෙ ඇසා
නපුරු රජුන් බිසවට පැවසිය මෙලෙසා
කඳුලු සලා අඬමින් සිටි දුක විමසා
සුරඟන විලස තුනු රුසිරැති මෙ නුඹ ලමා
ඇස දැක සතොස් වී වාවනු බැරිය ලමා
වන මැද මෙදුක් වැද ඉන්නේ මෙ නුඹ ලමා
අප වෙත ආවොත් අග බිස කොට තබමි ලමා
බෝසේ උතුම් සිරි පිරි නුවරට තොපගේ
මා සේ සතුන් අරගෙන යනු මොකද අගේ
ආවේ මෙවන් දුක දෙන්ටද හිමිට මගේ
වාහේ වෙයන් නුවරට ගොස් මෝට ගේ
රජකම් කරන අය තොප ඇස දුටුවාද
කිසියම් වරද නැති කෙනෙකුට දුක දේද
සුපසන් මහිමි කුමකට මැරුවාද
මටවන් මෙදුක තගෙ අඹුවට නොවදීද
සිපබඳ කොමලකින් මුව මී පොවා පියා
සැප විඳ කලක් සමඟිව මන පිනා පියා
ලපසඳ ලෙසින් උන් මගෙ හිමි මරා පියා
අප අද කුමට වෙන් කෙරුවාද පා පියා
කිසියම් වරද නොමකල මගෙ හිමි සඳයා
අද දැන් ඇවිත් මැරි තගෙ හීයෙන් විදයා
මටවන් මෙදුක් ඇවිලෙයි හද තුල කකියා
රජකම් කරන හැටි පුදුමයි බලු ජඩයා
රොස්ව සිතින් අඬමින් වැදි රජුට මෙසේ
කුණ ගනිමින් පරුවත මුදුනට පිවිසේ
ඉස තබමින් අත දෙනුවන් කඳුලු පිසේ
සඳදෙවියන් හිමි සතපා අඬයි මෙසේ