විමලරත්න කුමාරගමගේ උපන්ගම වූයේ පාතදුම්බර නාරම්පනාව නම් සුන්දර ගම්මානයයි. 1919 ජනවාරි මස 18 වන දින උපත ලැබූ මෙතුමා කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ දීප්තිමත් කවියෙකි.
මූලික අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව කුමාරගම මහතා අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 1942 වසරේදී ආදායම් පාලක
නිලධාරි තනතුරට උසස් වූ එතුමා කලවාන, බින්තැන්න, වන්නිහත්පත්තුව වැනි පිටිසර ගම්මාන වල සේවය කිරීමෙන් ලද අත්දැකීම් වලින් ස්‌වකීය කලා හදවත පෝෂණය කර ගත්තේය.
විමලරත්න කුමාරගමයෝ ගැමි දිවි පෙවත තේමා කර ගෙන කවි ලිව්වේය. ගැමියන්ගේ සිතුම් පැතුම්, විශ්වාස කුමාරගම මහතා කවියට නැගුවේ දයා පර්ශවයෙනි.
සමකාලීන කවීන් අතර විමලරත්න විමලරත්න කුමාරගම විශේෂ තැනක් ගන්නේ පියවි ඇසට නොපෙනෙන සියුම් දෑ දැකීමෙන් මතු කෙරෙන දාර්ශනික සතුවිලිවලින් ඔහුගේ කවි සමන්විත වී ඇති හෙයිනි. එබඳු නුර්මාණයක් වූ මුතුගේ ප්‍රශ්නය නම් කාව්‍ය සංග්‍රහයෙන් පහත කවිය උපුටා ගන්නා ලදි.
මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද
මේ දිය නිදා ගන්නේ මොන දවසට ද
එගොඩින් එහා ඇති මොනවාගේ රට ද
මෙගොඩ වගේ එගොඩත්හරියට ද
කුමාරගමයන් විසින් තම වලස් දඩයම නම් කාව්‍ය නිර්මාණය උදෙසා වැළහින්නියක් තුළ වූ දාරක ප්‍රේමය පාදක කොටගෙන ඇත.
ගොළුවන් කියන දේ වැටහෙන සවන් වෙති
මා සතු වෙන්ට එදවස සිට පටන් ගති
දරුවන් දකින විට සිය මෑණියන් නැති
ඒ හැම දෙනම මගෙ ළඟ නෑ සියන් වෙති
විටෙක මානව දයාව පිරී ඉතිරී ආකාරයෙනුත් තවත් විටෙක අදහස් දාර්ශනික පසුබිමකිනුත් පාඨකයා වෙත ඉදිරිපත් කරන කුමාරගම තම නිර්මාණ මඟින් රසික හදවත් පුබුදුවාලීය.
සංවේග වේදනා(1946), නිල් සිහිනය(1941), ඔරුව(1942), සපුමල්(1946), සුරතල්ලු(1961), මුතුගේ ප්‍රශ්න ආදී වන පද්‍ය කව්‍ය කුමාරගමගේ කෘති අතර වෙයි. මේ අතර එතුමා සමකාලීන පුවත්පත් හා සඟරා ඉදිරිපත් කරන ලද කාව්‍ය නිර්මාණද අතිශයින් ජනපි්‍රය විය.
මේවා අතර අලියා වටුණු වැව, හේරත් හාමි, ආරච්චිරාල, කිරා, කැටවල, පූසිගේ මරණය, යන්තම් බේරුණා යන රචනා විශේෂය.
කලක් අග නුවර තුරුණු කවි සමාජයේ සංස්‌කාරක වරයා ලෙසද කටයුතු කල කුමාරගම මහතා 1962 දෙසැම්බර් 30 වන දින දැයෙන් සමු ගත්තේය.