විසිහත්වන කොටස
 


 

සඳමහ රජු පිරිවර සමඟ වංකගිරියට පැමිණීම

අසා වංකගිරියේ තොරතුරු සැම දරු දෙන්නා අති නේ - නෙක
ලෙසා වැදි දුක්‌ සඳමහ රජු සහ මව් මෙහෙසිය මෙ දි නේ
විසාල පිරිසක්‌ සමග දෙවැනි දින ගිය වැදගත් ගම නේ - තතු
රැසා මෙහෙම මදකින් අගවන්නට බැරිමයි පින්වතු නේ

අංග පිරිය තපසුන් දෙදෙනා වැසි හිමාලයේ පෙනෙනා - එම
වංග ගිරිය ඇතුලට මේ මහසෙන් ගොස්‌ නිසිලෙස වැදුනා
තුංග දිරිය ඇති වෙසතුරු හිමි සහ දේවිය දුටු සැනිනා - පැන
නැංග පිරිය සිත කීමට උවමක්‌ මට නම් නොම ඇගෙනා

දකිමින වෙසතුරු තපසු වැළඳගති සඳමහ පිය නර නා - යලි
පිනමින මද්‍රි බිසව වැළඳගති පුසැති දේවි සැනිනා
ටික දිනකින් කිරිබොන්ට නැතිව සිටි සුරතල් දරු දෙදෙ නා - පැන
දුවගෙන ගොස්‌ මව දෙතනේ එල්ලී කිරි බොන්නට වැදුනා

දරා ගන්ට බැරිවිය උනුනුන් දුටු සන්තොස මගෙ අම්මේ - කර
දරා වෙහෙස දුක්‌ කිසිවක්‌ නැතිවිය එහි ගිය විගසි ම්මේ
පුරා අවට සිටි මහසේනාවද හැඩී තුටු කඳුලි ම්මේ - එම
වරා පැවති පියකරු ගති කීමට බැරි එක මුවකි ම්මේ

ඇවිත් එදා සක්‌රජ අහසේ සිට අව්වත් වැලකෙව්වා - තව
ඇගෙත් විඩා දුරු වෙන්නට මල් වරුසාවක්‌ වැස්‌සෙව්වා
යළිත් වංකගිරියේදීම සියරට රජකම පැමිණෙව්වා - ගරු
සිරිත් ඇතුව පියරජු සුරතින් රන් ඔටුන්න පැළඳෙව්වා

ඔටුනු පැළඳ එම පිරිවර කැටුවම ජයතුරු පුර පැමි නී - පෙර
තිබුණු ලෙසට මහ දන්සල් ඇතිකර දසදම්රජ ලෙසිනී
ලැබුනු පිනෙන් ගරු මද්‍රි බිසව සහ රජසිරි විද යෙහෙනී - සිත
පිරුනු සතුට ලෙස වෙසතුරු රජතුම වැජඹුනි යස තෙදිනී

එදිනා මව් පිය මායා මව් සහ සුදවුන් පිය වියේ - එම
නදනා රාහුල තෙරිඳුය කුමරිය පුල්වන් මෙහෙණි වියේ
බමුණා දෙව්දත් බැමිණිය චිංචා නම් හැතිරිය වීයේ - යම
තෙදිනා රජ කල වෙසතුරු රජතුම අප මුනිතුම වීයේ

හිතේ දරා ගණු බැරි තරමේ තද දුක්‌ ලැබ නෙක විලසා - සිය
නෙතේයුරා පතිදම් රැකගෙන උන් තපසින් වී සතොසා
යසෝදරා කුළඟණ ගෙල පැළදෙව් මදුරදු මෙම දවසා - යස
යසොදරා නම් අග මෙහෙසිය වී පිරිවර බුදු පිරිසා

උගත් සතර තතු කිවිදන මෙහි ඇති දොස්‌ගැන නොකිපේවා - නෙක
වියත් දනට ගුරු මගෙ ඇඳුරිඳුතුම යහතින් වැජඹේවා
අලුත් මෙපොත කියවීමට කිසිවෙක්‌ කම්මැලි නොම වේවා - යස
මෙගත් ගෙතු පින් මහිමෙන් දින දින සැමටම සෙත් වේවා

මාතර කුළුණු ගුණයෙන් දියතුරු විසර
මාතර කුකවි ගජකැල මැද වන් කෙසර
මාතර නැනිදු සබනායක හිමි ඇ සර
මාතර මින් උගත් නෙක බස්‌ සත් හසර

හිතුන පාරටම වන කිව් සිත් අටියේ
ගොතන මී ර කව් ගී රසවත් හැටියේ
පතන සාර සඟ මොක්‌ සිරි යුත් පැටියේ
රතනසාර කිවි මෙය කළෙ හිත්ත ටියේ

(c) Shilpa Sayura Foundation 2006-2017