තුලනාත්මක මාධ්‍ය පද්ධති
 

ජාතීන් අතර පවත්නා මාධ්‍ය පද්ධති ගැනද අධ්‍යයනය අවශ්‍යය. කවර රටක හෝ පවත්නා මාධ්‍ය පද්ධතිය ඒ රටේ දේශපාලනික පද්ධතිය හා තදින් බැදුනකි. දේශපාලනික පද්ධතිය ඒ රටේ මාධ්‍යය සහ රජය අතර පැවතිය යුතු සම්බන්ධතා නිශ්චය කරයි. මෙම සම්බන්ධතා ගැන විවිධ සිද්ධාන්ත පසුගිය කාලය තුළ වර්ධනය විය. ඒ ගැන ද සොයා බලමු,


පුවත්පත් පිළිබඳ සිද්ධාන්ත


16 වැනි සියවසේ සිට විද්වත්තු රජය සහ මාධ්‍ය අතර පැවතිය යුතු සම්බන්ධතා විග්‍රහ කළහ. එසේම පුවත්පත් මාධ්‍ය සහ නිදහසත් ඒවායේ පාලනය ගැනත් විමසා බැලූහ. මේ නිසා මාධ්‍ය ගැන පහළ වුණු විවිධ සිද්ධාන්ත ද ඇත. එයින් වඩාත් ප්‍රබල සිද්ධාන්තය පහළ වූයේ 1956 දී ප්‍රකාශිත ෆෝර් තියරීස්‌ ඔෆ් ද ප්‍රෙස්‌ නම් ග්‍රන්ථයෙනි. මෙහි මාධ්‍ය නිදහස සහ පාලනය සම්බන්ධ දර්ශන හතරක්‌ ඉදිරිපත් කර ඇත.
1. අධිකාරිවාදී
2. ලිබරල්වාදී
3. කොමියුනිස්‌ට්‌
4. සමාජ වගකීම්වාදී
    යනු ඒ හතරයි.


කාලයාගේ ඇවෑමෙන් සමහර ඓතිහාසික සංසිද්ධිවල ප්‍රතිඵල වශයෙන් මේ දර්ශන හතර යටපත් වී ඇත. අලුත් චින්තකයෝ මේ සම්බන්ධව නව සිද්ධාන්තද පහළ කලහ. ඝූල් සිද්ධාන්ත හතරම රඳා ඇත්තේ මානව රාජ්‍ය සම්බන්ධතා මුල් කර ගෙනය.


අධිකාරිවාදී සිද්ධාන්තය පැන නැඟුණේ 16 වැනි ශතවර්ෂයේ එංගලන්තයෙහිය. එය මුද්‍රණ යන්ත්‍රය පැතිර යාමත් සමඟ සමගාමිව සිදුවූවකි. මේ අනුව පාලක පක්‌ෂය මහජනතාව නිසි මඟ යැවිය යුතුයි. හේතුව ඔවුන්ගේ, පොදු මහජනතාවගේ බුද්ධි මට්‌ටම ඉතා පහළ මට්‌ටමක පැවතීමයි. ප්‍රසිද්ධ විචාරය සහ විරෝධය දැක්‌වීම යන දෙකම රජයටත් මහජනතාවටත් අහිතකරය. එයට ඉඩ දිය නොහැකිය. ඒ නිසා අධිකාරිවාදීහු විවිධ උපක්‍රම මගින් මුද්‍රණාලවල සහාය සහ පුවත්පත්වල සහාය ලබා ගැනීම, ක්‍රියාවේ යෙදවූහ. ඒවා නම් අවසර පත්‍රයක්‌ ගැනීම, ප්‍රකාශන පූර්ව අනුමැතිය ලබා ගැනීම, සමහර අංශවලට මුද්‍රණය සඳහා උපකාර කිරීම, රාජ්‍ය විචාරකයින්ට දැඩි දඬුවම් දීමත්ය. සමහර සමාජවල පුවත්පත රජය විචාරය නොකළයුතුයයි නීති පැණවුණු අතර රජයේ යහපත උදෙසා කටයුතු කරන්නටද බල කළහ. එසේ කළ හැක්‌කේ රජයට අහිතකර ප්‍රවෘත්ති ආදිය පළ නොකර සිටීම, අනික්‌ තොරතුරු වුවත් රජයේ යහපතට හේතු වන ලෙස විස්‌තර කරවීම මගිනි.


මේ අධිකාරිවාදී න්‍යායයේම විකල්පය නම් කොමියුනිස්‌ට්‌ සිද්ධාන්තයයි. ඝාධ්‍ය අයිති වන්නේ මහජනතාවටයි. ඝහජනතාව නියෝජනය කරන්නේ රජයයි. ඔවුන්ගේ කාර්යභාරය වී ඇත්තේ මාක්‌ස්‌වාදයට සහාය දක්‌වමින් රජයේ ඉලක්‌ක සාර්ථක කර ගැනීමට කොමියුනිස්‌ට්‌ පක්‌ෂයට උපකාර කිරීමයි. සෝවියට්‌ රුසියානු සමූහාණ්‌ඩුවේ බිඳ වැටීමත් නැගෙනහිර යුරෝපයේ කඩා වැටීමත් නිසා අවුරුදු හතළිහකට පෙර පැවැතුණු බලය මෙම සිද්ධාන්තයට දැන් නැත.


ලිබර්ටේරියන් (නිදහස) සිද්ධාන්තය කෙළින්ම අධිකාරිවාදයට විරුද්ධය. ලිබර්ටේරියන්වරු මානවයා බුද්ධිමත් තර්කණය කළ හැකි පිරිසක්‌ නිසා තමන්ගේම තීරණ ගැනීමට ශක්‌තියක්‌ ඇති නිසා රජයවල් පවතින්නේ පුද්ගලයාට සේවය කිරීම සඳහායයි විශ්වාස කරති. අධිකාරිවාදීන් නොව ලිබර්ටේරියන්වරුන් සිතන්නේ පොදු මහජනතාවට ඕනෑම කරුණක්‌ සම්බන්ධයෙන් තොරතුරු හැම පැත්තකින්ම ලබා ගෙන අසත්‍යයෙන් සත්‍යය වෙන්කර ගැනීමට පුළුවන් බවයි. ඒනිසා රජය කිසියම් ආකාරයකින් අදහස්‌ ප්‍රකාශනයට බාධාකර නීති පැණවුව හොත් එයින් කරන්නේ ජනතාවගේ අයිතයක්‌ නැති කිරීමකි. ක්‍ෂජයට කළ හැකි උසස්‌ම සේවය මාධ්‍යයට අත නොගසා සිටීමයි. කොටින් කියතොත් මාධ්‍ය රජයේ පාලනයෙන් තොර විය යුතුය.


සන්නිවේදන විශෙෂඥයකු වු විලියම් හැෂ්ටන් ද වර්ල්ඩ් නිව්ස්‌ ප්‍රිසම් නම් කෘතිය රචනයේදී ලිබර්ටේරියන් සිද්ධාන්තයට නවීකරණයක්‌ එක්‌ කරයි. එය සමාජීය වගකීම් න්‍යායයේ කොටස්‌ සහ ලිබර්ටේරියන් වාදයේ කොටස්‌ ද එක්‌ කර ගත්තකි. ඔහු කරන සංකල්පගතකරණය එය හදුන්වන්නේ බටහිර සංකල්පය නමිනි. බටහිරවාදී සංකල්පය අනුව මුද්‍රිත මාධ්‍ය අයිති වන්නේ පෞද්ගලික හිමිකරුවන්ටයි. විද්යුත් මාධ්‍යය පෞද්ගලික හිමිකරුවන්ට මෙන්ම රාජ්‍යයටද හිමි කර ගත හැකිය. මුද්‍රිත මාධ්‍යය හැකි තරම් නිදහස්‌ සහ ස්‌වාධීන විය යුතුය. එහෙත් ලිබර්ටේරියන්වාදය මෙන් පූර්ණ ස්‌වාධීනභාවයක්‌ මෙයින් අදහස්‌ කෙරෙන්නේ නැත.


මාධ්‍යයට රජය සහ අනිත් ආයතන විචාරයට අයිතියක්‌ තිබේ. එහෙත් ඔවුන්ට මහජනතාවට තොරතුරු නියම විදිහට දැන්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට වගකීමක්‌ද ඇත. පුවත්පත් සමාජයේ අවශ්‍යතා ගැනද සැලකිලිමත් විය යුතුයි. මහජන ශුභසිද්ධිය සඳහා නිසි පරිදි ක්‍රියා නොකරන අවස්‌ථාවක රජයට එසේ කරන ලෙස බල කෙරෙන නීති පැනවීමටද පුළුවන්කමක්‌ ඇත. ඇමෙරිකාවේ ඇති මධ්‍යම සන්නිවේදන කොමිසම, ෆෙඩරල් කොමියුනිකේෂන්ස්‌ කොමිෂන්, එෆ්.සී.සී. පණවන නීති මෙවැනි ඒවාය. මෙම දර්ශනවාදය අනුව ක්‍රියා කරන රටවල් ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදය, ජපානය, මහා බ්‍රිතාන්‍ය සහ බටහිර යුරෝපීය රටවල් ගිණිය හැකිය.

විලියම් හැෂ්ටන් වඩාත් නූතන සිද්ධාන්තයක්‌ හදුනා ගෙන ඇත. එය නම් සංවර්ධනාත්මක සංකල්පයයි. මෙය වඩාත් බර වන්නේ අධිකාරිවාදී සිද්ධාන්තයටයි. මේ අනුව සමාජීය සංවර්ධනය ඉලක්‌ක කර ගත් ජාතික වැඩ පිළිවෙළ වලට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට රජය මාධ්‍යවලට නියම කරයි. සමහර විටක දේශපාලිනික ඒකාබද්ධතාවය, නැත්නම් සාක්‌ෂරාතාව, ඒත් නැත්නම් ආර්ථික ස්‌වයංපෝෂය, ඒත් නැත්නම් රෝගබිය දුරු කරලීම එවැනි ජාතික ඉලක්‌ක විය හැකිය. මාධ්‍ය සේවය කළ යුත්තේ මෙම ඉලක්‌ක සාක්‌ෂාත් කර ග්නටයි. සංවර්ධනයමය පුවත්පත් කලාවේ අදහසම අප කලින් සඳහ් කළ තුන්වැනි ලෝකයේ නව ලෝක ප්‍රවෘත්ති රටාව පිළිබඳ විවාදයට මුල් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017