අන්තර්ජාතික සන්නිවේදනය සම්බන්ධයෙන් පසුගිය අවු. කිහිපය තුළ මතු වුණු ගැටළු අංශ දෙකකට බැඳී තිබේ.
1. වෙනස් වන ලෝක දේශපාලනික දර්ශනයෙහි අන්තර්ජාතික සන්නිවේදනයේ බලපෑම.
2. අන්තර්ජාතික සන්නිවේදනය කරන සංස්‌කෘතික යටපත් කර ගැනීම.
පළමුවෙන්ම 1980 ගණන්වල අවසානයේත්, 1990 ගණන් වල මුලත් නැගෙනහිර යුරෝපයේත්, සෝවියට් සමූහාණ්‌ඩුවේත් පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදි රජයන්හි වර්ධනයටත්, විවෘත වෙළඳපළ ආර්ථික ක්‍රමයක් ඇති වීමටත් ජන සන්නිවේදනය බලවත් සහායක් දැක්‌වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙහිදී මතු වන එක් උත්ප්‍රාසයක් නම් මෙම ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාදාමය තදබල ලෙස ඇති වූයේ ඉතා දැඩි රාජ්‍ය පාලන නීති රීති මගින් මාධ්‍ය පීඩනයට පත් කළ රටවල් බවයි. තත්වය එසේ නම් අන්තර්ජාතික මාධ්‍ය මේ තත්වය වෙනස් කරවන්නට බලපෑම් කෙළේ කෙසේද?
වෙනත් රටවලින් වීශේෂයෙන්ම ඇමෙරිකාවෙන් සහ වෙනත් කාර්මික රටවලින් ආනයනය කරන රූපවාහිනී කරන රූපවාහිනී ප්‍රවෘත්ති සහ විනෝදාත්මක වැඩ සටහන් නිසා දේශීය සංස්‌කෘතිය යටපත් කිරීමක් කරන බව පැහැදිලිය. ඒ ඒ දේශ වල බහුතරයක් තමන්ගේ රටේ සංස්‌කෘතිය සහ දේශීය උරුමය වෙනත් විශ්ව සංස්‌කෘතියක් විසින් විනාශ කර දමතියි බිය වෙති. මේ නිසා සමහර රටවල්වල රූපවාහිනී සේවාවන් දේශීය වැඩ සටහන් අසවල් ප්‍රමාණයක් විකාශය කළයුතු යයි නීතිරීතිවලට යටත් වී ඇත.
කැනඩාවේ පමණක් නොව 1992 දී යුරෝපීය ප්‍රජාව බවට පත් වුණු රටවල මෙවැනි දේශීය වැඩ සටහන් කෝටාවක් නම නියම කර ඇත. ස්‌පාඤ්ඤයේ රාජ්‍ය පාලිත රූපවාහිනී ආයතන සියයට 48කට වැඩි ප්‍රමාණයක් විදේශීය වැඩසටහන් ඉදිරිපත් නොකළ යුතුයි. විදේශීය නිෂ්පාදන වලට මෙවැනි විරෝධයක් මතු වූයේ මෙම සංස්‌කෘතිය යටපත් කිරීම වුවත්, මෑතකදී සොයා ගත් සත්‍යයක් නම් ඇමෙරිකානු නිෂ්පාදන වලට වඩා දේශීය නිෂ්පාදන වලට ජනතාව රුචි කරන බවයි. ඇමෙරිකානු නිෂ්පාදන වලට සම්භාවනීය ග්‍රාහක පිරිසක් ලැබෙන බව සැබෑවකි. එහෙත් ජනප්‍රිය වැඩසටහන් දේශීය ඒවාමය.
මේ අතර වන ලෝක තොරතුරු රටාව නමින් හැඳින්වෙන ප්‍රවෘත්ති ප්‍රවාහය පිළිබඳ ගැටළුවද මතු විය. සංවර්ධනය වන රටවල් අදහන්නේ අන්තර්ජාතික සන්නිවේදනයේ පවත්නා පද්ධති බටහිර සංවර්ධිත රටවල් මගින් පාලනය වන බවයි. ලෝකයේ බොහෝ රටවල පැතිර යන මාධ්‍ය අන්තර්ගතය ඇමෙරිකානුය. නැත්නම් වෙනත් බටහිර ජාතියකට අයිතිය.
එවැනි පද්ධතියක් තුළ සංවර්ධනය වන රටකට තැනක් නැති වීම ස්‌වභාවිකය. තුන්වැනි ලෝකයේ ප්‍රවෘත්තිවලටද තැනක් නැත. අනික් අතට විචාරකයින් කියන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩ සටහන් නිෂ්පාදනයට සහ බෙදා හැරීමට අවශ්‍ය තාක්‌ෂණය හා විද්යුත් මාධ්‍ය වර්ණාවලියද බටහිර රටවල් විසින් පාලනය කරන බවයි. තමන්ගේම වැඩ සටහන් නිෂ්පාදනයට සම්පත් නොමැති සංවර්ධනය වන රටවල් වල, රූපවාහිනී පද්ධති ඇමෙරිකානු හෝ වෙනත් යුරෝපීය රටක වැඩ සටහන් ගැන විශ්වාසය තැබීම පුදුමයක් නොවේ. මේ නිසා බටහිර මාධ්‍ය යෝගය තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් මත පවත්වන මාධ්‍ය යටත් විජිතවාදයේ එක් ස්‌වරූපයකි. මේ පිළිබඳ විවාදය වඩාත් මතු වූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනෙස්‌කෝ යුනයිටඩ් නේෂන්ස්, සයින්ටිපික් ඇන්ඩ් කල්චරල් ඕර්ගනයිසේෂන්, එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා සහ සංස්‌කෘතික ආයතනය 1980 ගණන්වල මේ සම්බන්ධව කරුණු සොයා බැලීම නිසාය.
යුනෙස්‌කෝවේ තීරණය තුන්වැනි ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක් වූවකි. තමන්ගේ දේශ සීමා වලින් ඇතුළු වන සියලුම ප්‍රවෘත්ති සහ විනෝදජනනීය වැඩසටහන් ඒ රටවල් විසින් පාලනය කර ගත යුතුය යන අදහස යුනෙස්‌කෝව දැරුවාය. හැම රටක්‌ම විදේශවලින් තම රටට එන වැඩසටහන් සහ ප්‍රවෘත්ති පාලනය, විදේශීය මාධ්‍යකරුවන් පරිපාලනය, රට තුළට සෘජුව විකාශ පැවැත්වීමට රටෙන් අවසරය ලබා ගැනීම ආදියද මෙයට සම්බන්ධ විය. එක් අතකින් මාධ්‍යකරුවන්ට අවසර පත්‍රයක් ගත යුතු තත්වයක් යෝජනා විණි. මේ සම්බන්ධයෙන් බටහිර මාධ්‍යකරුවන්ගේ ප්‍රතික්‍රියාව පැහැදිලිය. බටහිර ජාතීහු තුන්වැනි ලෝකය තමන්ගේ ප්‍රවෘත්ති ආවරණයෙන් සමතුලිත ප්‍රමාණයක් ලබා ගන්නා බව පර්යේෂණ මගින් පෙන්වා දුන්හ. එසේම නිදහස් ලෙස ප්‍රවෘත්ති ගලා යාමේ බටහිර සම්ප්‍රදාය අනුව මාධ්‍ය නිදහස බටහිර රටවල දැඩි අවධානයට යොමු වූවාක් බැවින් ඊට බාධාකර කිසිදු දෙයක් කෙරෙහි ඔවුහු රුචියක් නොදැක්‌වූහ. මාධ්‍යකරුවන්ට අවසර පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නැත. එසේම වාර්තාකරුවන්ට නිල ආචාරධර්ම සකස් කිරීමට රජයවල් කටයුතු කිරීමද අවශ්‍ය නැත. වාරණයක් නොමැති විය යුතුයි. ප්‍රවෘත්ති සංසිද්ධිවලට ළඟා වීමට බාධා නොකළ යුතුයි.
එහෙත් මෙයට විරුද්ධත්වය පෑ විචාරකයෝ තුන්වැනි ලෝකයට ලැබෙන ප්‍රවෘත්ති පිළිබඳ සමතුලිත ආවරණය සාවද්‍යයයි කීහ. බටහිර රටවල් වලට වුවමනා තුන්වැනි ලෝකයේ ලාබ ලැබෙන වෙළඳපොළවල් ඇති කර ගැනීම බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් මෙම වාදයට සහභාගි වු සියලු දෙනාටම එක් කරුණකට එකඟ වීමට හැකියාව ලැබුණි. එනම්, තුන්වැනි ලෝකයේ රටවල්වලට ඔවුන්ගේ සන්නිවේදන ප්‍රවර්ධනය සඳහා ආධාර අවශ්‍ය බවයි. මේ අනුව 1980 දී සන්නිවේදන ප්‍රවර්ධනයෙහිලා අන්තර්ජාතික ව්‍යාපෘතිය ස්‌ථාපනය කරන ලදී. ධහි මූලික කාර්ය වූයේ තොරතුරු රැස්‌කිරීම සහ හුවමාරු කර ගැනීමත් සන්නිවේදන පද්ධතිවලට සහ සේවාවලට සහාය විය හැකි විශේෂඥ උපදේශ සංවර්ධනය වන්නාවූ රටවල්වලට ලබා දීමත්ය. එහෙත් මේ ව්‍යාපෘතිය සඳහා බටහිර රටවල් ආධාර කෙළේ ඉතා සුළු වශයෙනි. එසේම කෙරෙන වැඩ කටයුතු ගැන ඔවුහු නිතිපතා විමසිලිමත් වූහ.
සංවර්ධනය වන රටවල් සහ සංවර්ධිත රටවල් අතර ප්‍රවෘත්ති ප්‍රවාහය ගැන ඇති මෙම අරගලය ඉක්‌මනින් විසදෙන පාටක් නැත. එක් අතකින් ඇමෙරිකා එක්‌සත් ජනපදය 1984 දී යුනෙස්‌කෝවෙන් ඉවත් වීමට තීරණය කළේද මෙම කරුණ නිසාමය. සංවර්ධනය වන රටවල් සමහරක් සහ බටහිර රටවල් සිතන්නේ රජයේ ඇඟිලි ගැසීමෙන් තොර පුවත්පත් ගැනය. අනික් සංවර්ධනය වන රටවල් සිතන්නේ පුවත්පත් රජයට ආධාර කළ යුතු බවයි. විරුද්ධකාරයින් මැඬ පැවැත්විය යුතු බවයි. ජාතික ඉලක්‌ක කරා ළං වීමට ඉඩ කඩ සපයා දිය යුතුයි. දාර්ශනික ප්‍රශ්න විසඳා ගැනීම සරල නොවන බැවින් මෙයද විසඳීමට දුෂ්කර ප්‍රශ්නයකි.