විශ්ව මුද්‍රිත මාධ්‍යය
 

විදේශීය භාෂාවකින් හෝ අන්තර්ජාතික මුද්‍රණ ලෙස එළි දැක්‌වෙන පුවත්පත් බොහොමයක්‌ ලොව පුරා ඇත. ඒවා විශේෂයෙන්, පොදු පුවත්පත් සහ මූල්‍ය පුවත්පත් යනුවෙන් කොටස්‌ දෙකකි. බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පළ වන ද ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්, යූඑස්‌ඒ ටුඩේ ඉන්ටර්නැෂනල්, වර්ල්ඩ් පේපර් වැනි අන්තර්ජාතික මුද්‍රණ මේ ගණයට වැටෙයි. මෙයින් පළමුවැනිව සඳහන් කර ඇති ද ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් පත්‍රය ප්‍රකාශ කරන්නේ නිව්යෝක්‌ ටයිම්ස්‌ සහ වොෂින්ටන් පෝස්‌ට්‌ යන පත්‍ර සමාගම්ය. මූලස්‌ථානය පැරීසියේය. ලොව පුරා විශේෂයෙන් පිටපත් දෙලක්‌ෂයකට ආසන්න ප්‍රමාණයක්‌ අලෙවි කරයි. දැන් අවුරුදු 108ක ජන්ම සංවත්සරයද පවත්වා ඇති මේ පුවත්පත මියාමි, සිංගප්පූරුව සහ හොංකොං ඇතුළු නගර 10ක මුද්‍රණය කෙරෙයි.




ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය, ස්‌පාඤ්ඤය යන රටවලට අමතරව ඊජිප්තුවද, ඉන්දියාවද අන්තර්ජාතික පුවත්පත් පළ කරයි. ලොව පුරා අන්තර්ජාතික ප්‍රවෘත්ති ප්‍රවාහය විශ්ව ප්‍රවෘත්ති ආයතන මගින් පාලනය කෙරෙයි. විශාලම ඒවා නම් රොයිටර්ස්‌, ඇසෝෂියේටඩ් ප්‍රෙස්‌, යුනයිටඩ් ප්‍රෙස්‌ ඉන්ටර්නැෂනල්, ඒජන්සි ෆ්‍රන්ස්‌ ප්‍රෙස්‌ සහ ITAR, TASS ය.

මෑත කාලයේදී පහළ වුණු විශේෂ ප්‍රවෘත්ති සංවිත වන නිව්යෝක්‌ ටයිම්ස්‌ සින්ඩිකේට්‌ සහ ලොස්‌ ඇන්ජලීස්‌ ටයිම්ස්‌ සින්ඩිකේට්‌ වඩාත් වැදගත් තත්ත්වයට පත් වී ඇත. සඟරාවක්‌ ලෙස ගත් විට රීඩර්ස්‌ ඩයිජෙස්‌ට්‌ සඟරාව භාෂා 15කින් රටවල් 200ක පමණ අන්තර්ජාතික මුද්‍රණ 39ක්‌ පළ කරයි. ඇමෙරිකාවෙන් පිටත එහි පාඨක සංඛ්‍යාව මිලියන 10කට වැඩිය.

(c) Shilpa Sayura Foundation 2006-2017