ඩිප්ලෝ ගේ හා වෝරා ගේ ආකෘතිය
 

1966 දී මෙල්වින් ඩිප්ලෝ  නිර්මාණය කළ සන්නිවේදන ආකෘතිය ශැනන් වීවර් ආකෘතියේම ප්‍රවර්ධක අවස්‌ථාවකි. එම ආකෘතියෙහි ලා සන්නිවේදනය සතු ද්විපථ ක්‍රියාකාරිත්වය මැනවින් ප්‍රදර්ශිතය. ප්‍රතිපෝෂණය සහ සන්නිවේදනය චක්‍රාකාර ලෙස දැක්‌වීමක්‌ කියන්නේ සන්දේශයන්ගේ අර්ථය ලබා ගැනීම සංකීර්ණ වත් බවයි. නිතරම වාගේ සන්දේශය යවන්නා සහ සන්දේශය ලබන්නා ඝෝෂණ බාධාවන්ගෙන් ඈත් වන්නට ක්‍රියා කරන අතර පොදු අර්ථයකට ළඟාවීම සඳහා ක්‍රියා කරති.


මෙලෙස අර්ථ පිළිබඳ සමථයකට පත්වීම සඳහා ප්‍රතිපෝෂණය විශාල කටයුතු ප්‍රමාණයක්‌ ඉටු කරයි. සාමාන්‍යයෙන් ප්‍රතිපෝෂණය යනු කිසියම් මූලයකින් එන සන්දේශයක්‌ කෙරෙහි ග්‍රාහකයා දක්‌වන ප්‍රතිචාරයයි. ප්‍රතිපෝෂණය සෘජු සහ ක්‌ෂණික විය හැකිය. නැත්නම් චක්‍ර සහ ප්‍රමාද විය හැකිය. කෙනෙකු ඉදිරියේ කතා කරන විට ක්‌ෂණික ප්‍රතිචාර ලැබෙතත්, ලිපියකට ලැබෙන ප්‍රතිචාරය කල් යයි.


වෝරා ගේ ආකෘතිය


සන්නිවේදන ක්‍රියාදාමය තුළ කාලයද වැදගත් සාධකයක්‌ බව එරීකා වෙන්සල් වෝරා 1978 දී බෆලෝ හි නිව්යෝක්‌ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ද ඩිවොලොප්මන්ට්‌ ඔෆ් නන්සේප්ටි ඩිෆියුෂන් මොඩල්ස්‌ ඇන්ඩ් දෙයාර් ඇප්ලිකේෂන් ටූ ද ඩිෆියුෂන් ඔෆ් ද සෝෂල් කොන්සෙෆ්ට්‌ ඔෆ් රේස්‌ නම් නිබන්ධයෙන් ප්‍රකාශයට පත් කළාය. ඇය කියන ආකාරයට මානව සන්නිවේදකයෝ නිතිපතා වෙනස්‌ වෙති. මේ වෙනස්‌ වීම නිසා එකම සන්දේශයට වුව අප කාලය අනුව වෙනස්‌ ආකාරයෙන් ප්‍රතිචාර දැක්‌වීම සිදු වෙයි. වෙනත් විදියකට කියත හොත් එක්‌ අවස්‌ථාවක කිසියම් සන්දේශයක්‌ කරන බලපෑම වෙනත් දවසක වෙනත් වෙලාවක වෙනස්‌ වීම අනිවාර්යය.ඊට අමතරව තවත් දෙයක්‌ සිදුවෙයි. එකම සන්දේශය වුවත්, විවිධ මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන විට ඒ ඒ මාධ්‍යයේ වෙනස්‌වීම් මත ඒ සන්දේශයට අප දක්‌වන ප්‍රතිචාරයද වෙනස්‌ වෙයි.


මෙලෙසින් සලකන කල වෝරා ආකෘතියේ කාලය සහ මාධ්‍යයයන් සංකල්ප දෙකට වැදගත් තැනක්‌ දී ඇත. මේ දෙකට අමතරව සන්නිවේදනය කෙරෙහි බලපාන අභ්‍යන්තරික සහ බාහිර බලපෑම් ගැනද ඇය සඳහන් කරයි. ඇගේ ආකෘතිය පරිසරය පරිසරය පිළිබඳ මට්‌ටම් තල, දෙකක්‌ ඇතුළත් කර ගනියි. අයි ඊ යනු අභ්‍යන්තරික පරිසරයයි. ඊ ඊ යනු බාහිර පරිසරයයි. මානවයන් හැටියට අප නිර්මාණය කරන සන්දේශත්, අභ්‍යන්තර සන්දේශයන්ට අප දක්‌වන ප්‍රතික්‍රියාත් තීරණය වන්නේ අභ්‍යන්තරික සහ බාහිර පරිසරය ඇසුරු කර ගෙනය. ංප තුළ ඇති සතුට, බඩගින්න, දුක කෝපය, වේදනාව යන සියල්ල අප නිර්මාණය කරනසන්දේශ කෙරෙහි බලපාන්නා සේම අප සන්දේශ කෙරෙහි දක්‌වන ප්‍රතික්‍රියාවන්ටද බලපායි.

ඒ සමඟම බාහිර පරිසරයේ ඇති සාධක අප නිර්මාණය කරන සන්දේශවලටත්, සන්දේශ කෙරෙහි අප දක්‌වන ප්‍රතිචාරවලටත් බලපායි. අහසේ වැහි වලාකුලක්‌ ඇත් නම් අපි කාලගුණ වාර්තාව අසන්නට කැමැත්තෙමු. නැත්නම් නිවසට කතා කොට වහින්න එන බවත් වැලේ තියෙන රෙදි ටික ගෙට ගන්නටත් කියා දුරකථනයෙන් කියමු. විශේෂයෙන්ම වෝරා අවධානය යොමු කරන්නක්‌ නම් සමාජයක්‌ තුළ සංකල්ප ව්‍යාප්තකරණයයි. ඇය කියන හැටියට සමාජීය ආකල්ප යම් යම් කරුණුවලට බලපෑ අතර ඒඩ්ස්‌ රෝග, සිගරට්‌ බීම, ළමයින් නැතිවීම සහ වියට්‌නාම් යුද්ධය යන විෂයයන් අපේ සමාජීය රටාව වෙනස්‌ කළ ආකාරය දක්‌වන බවයි.


එකම සන්දේශයකින් මතු වන ප්‍රතික්‍රියාවල විවිධත්වය ගැන වෝරා ආකෘතිය දක්‌වන අදහස්‌ වැදගත්ය. ග්‍රාහකයා ලබා ගන්නා තොරතුරු සහ ආකල්ප හෝ චර්යාව වෙනස්‌ වීම ගැනද දක්‌වන අදහස්‌ද විශේෂවත්ය. සන්නිවේදනය කිසියම් පරමාර්ථයක්‌ ඉටු කර ගන්නට යොදන බව සැබෑය. ඒ නිසා සන්දේශ මූලය ගැන හැම විටම සන්දේශය ඉදිරිපත් කරන්නේ ග්‍රාහකයා ගැන සිතා බලාය.


තවත් ආකෘති රාශියක්‌ම ඇතත් මේ කීපය ඔබ ටඅප දැක්‌වූයේ සන්නිවේදනය හදාරන විට සන්නිවේදන ක්‍රියාදාමය අධ්‍යයනය කරන විට ඒවා ඔබට බලපාන නිසාය. ඔබ අවට යමක්‌ සිදුවන විට එය විග්‍රහ කළ හැක්‌කේ කෙසේදැයි සිතා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017