මෙතෙක් විස්‌තර කැරුණු පුද්ගලයින් දෙදෙනෙකු අතර තනි ප්‍රේෂකයෙකු සහ තනි ග්‍රාහකයෙකු අතර ඇතිවන සන්නිවේදනයට වඩා සංකීර්ණ අවස්‌ථාවක් වු ජන සන්නිවේදන කාර්යයට වැදගත් වන ආකෘතියක් 1957 දී වෙස්‌ට්‌ලි සහ මැක්‌ලින් ආකෘතිය නමින් එළි දැක්‌වුණි. ටී.එම්. නිව්කෝම්බ් ලියූ ඇප්‍රේව් ටු ද ස්‌ටඩි ඔෆ් කමියුනිකේටිව් ඇක්‌ට්‌ස් නම් ලිපියෙන් සමාජ මනෝ විද්‍යා ක්‍ෂේත්‍රය අසුරින් උපත ලත් මේ ආකෘතිය අවශ්‍ය වූයේ සන්නිවේදන අවස්‌ථාවලට හිමි ගතිකත්වය මත ඒ ඒ පුද්ගලයා එවැනි අවස්‌ථාවක අන්‍යයන් සමඟ ඇති සම්බන්ධතා වර්ධනය කොට පවත්වා ගෙන යන්නේ කෙසේද කියා සොයා බැලීමටයි. ධය සාමාන්‍යයෙන් හදුන්වන්නේ නිව්කෝම්බ් ගේ ඒබීඑක්‌ස් ආකෘතිය නමිනි. එය සරල ත්‍රිකෝණයකි.
නිව්කෝම්බ් ආකෘතියේ ඇති වැදගත් කරුණක් නම් සන්නිවේදන ක්‍රියාදාමය තුළට මනෝ විද්‍යාව ගෙන ඒමයි. ඒ ආකෘතිය පුද්ගලාන්තර සන්නිවේදනයේ ගතිකත්වය විග්‍රහ කිරීමට ප්‍රයෝජනවත්ය. නිව්කෝම්බ් ඉදිරිපත් කරන සම්නතාව ඔරියන්ටේෂන් පිළිබඳ සංකල්ප අප වස්‌තුවලට පුද්ගලයන්ට මූර්තිමය සංකල්පවලට දක්‌වන හැඟීම, අපට පුද්ගලාන්තර සම්බන්ධතාවල ඇති සන්නිවේදනය සහ ජානනය ගැන සලකා බලන්නට ක්‍රමයක් ඉදිරිපත් කරයි.
නිව්කෝම්බ්ගේ මේ කෘතිය ආශ්‍රය කර ගෙන බ්‍රෑස් වෙස්‌ට්‌ලි සහ මැල්කම් මැක්‌ලීන් යන දෙදෙනා ජනමාධ්‍යන්හි සන්නිවේදනය සිදුවන ආකාරය ගැන වඩා සංකීර්ණ ආකෘතියක් ඉදිරිපත් කළහ. ඒ ආකෘතිය අනුව, ඒ සහ බී තවමත් එක්‌ස් නමැති විෂය ගැන සන්නිවේදනය කරති. මෙය ජන සන්නිවේදන අවස්‌ථාවක් නිසා ඒ කරන්නේ එක්‌ස් නම් විෂයයන් අතරින් එකක් තෝරා ගෙන ඒ ගැන බී ට කරුණු පැහැදිලි කරලමිනි. මේ ආකාරයට මාතෘකා කිහිපයකින් එක්‌ස් එකක් තෝරා ගැනීමෙන් ඒ කළේ බී එක්‌ස් ගැන දක්‌වන අවබෝධය වඩාත් නවීකරණයයි. ඒ යනු එක්‌කෝ දේශපාලකයකු විය හැකිය. නැත්නම් නීතිඥයකු විය හැකිය. නැත්නම් වෙළඳ ප්‍රචාරකයකු විය හැකිය. එක්‌ස් යනු අප වාසය කරන සමාජයේ පරිසරයෙන් තෝරා ගත් එක් විෂයක් පමණී. සී නැමැත්තා ඒ ගේ සහ බී ගේ නියෝජිතයාය. සී ගේ කර්තව්‍ය වන්නේ ඒ ලා කිහිප දෙනෙකු තෝරා ගෙන ඒ අයට ළඟා වන නාලිකාවට ප්‍රවේශය සඳහා උපකාර කිරීමයි. මෙතැන බී යනු ග්‍රාහකයාය. සී ගේ පරමාර්ථය වුවමනා තරමට තොරතුරු බී ට දීමයි.
මේ ආකෘතිය විවිධාකාර ප්‍රතිපෝෂණ ඉල්ලා සිටියි. එෆ් බී ඒ සටහනින් දැක්‌වෙන්නේ පළමු මූලාශ්‍රයට මධ්‍යස්‌ථානයට ග්‍රාකයින් දැක්‌වූ ප්‍රතිපෝෂණයයි. පළමුවැනි මූලාශ්‍රය වෙළඳ දැන්වීම්කරුවෙක් නම්, ප්‍රතිපෝෂණය විය හැක්‌කේ භාණ්‌ඩයක් මිළයට ගන්නවාද? නැද්ද? යනුයි. එෆ් බී සී යන්නෙන් දැක්‌වෙන්නේ මාධ්‍යයට ග්‍රාහකයා දක්‌වන ප්‍රතිපෝෂණයයි. නැත්නම් ඒ ගේ සන්දේශය සඳහා නාලිකාව සම්පාදනය කළ ආයතනයට ප්‍රතිචාර දැක්‌වීමයි. මේ ප්‍රතිපෝෂණය ලැබෙන්නේ රේටින්ස් නමින් හැදින්වෙන ග්‍රාහකයින් අතර කෙරෙන විමසුමකිනි. නැත්නම් එම ප්‍රතිපෝෂණය ලැබෙන්නේ ග්‍රාහකයකු මාධ්‍ය ආයතනයට තැපැල්පතකින් විටෝධය පෑමෙන් හෝ පුවත්පත්වල ලිපි මගින් කර්තෘට විරෝධය පෑමෙනි. එෆ්සීඒ යනු මාධ්‍ය ආයතනයෙන් ලැබෙන ප්‍රතිපෝෂණයයි. එය ලැබෙන්නේ සන්දේශ ප්‍රේරකයාටයි. එවිට තමන්ගේ සන්දේශවල ස්‌වරූපය, ඉදිරිපත් කරන ආකාරය ආදිය වෙනස් කරන්නට සිදුවෙයි.
නිව්කෝම්බ්ගේ ආකෘතියත්, වෙස්‌ට්‌ලි සහ මැක්‌ලීන් අර්ථ විවරණයත් වෙනත් ගැටළු මතු කරයි. මේ දෙදෙනාම විස්‌තර කරන සම්බන්ධතාවල ඉලක්‌කය වන්නේ එකිනෙකා කෙරෙහි ඇති වාසිදායක යමක් ලබාගැනීමයි යන්න අමතක කරති. ජනමාධ්‍ය අපගේ චින්දනය සමඟ හවුල් කර ගන්නා විට අපට දේශපාලනික සම්බන්ධතාද වටහා ගන්නට සිදුවෙයි. ඒ සහ සී අතර දේශපාලන බන්ධනයක් ඇත් නම්, සී හැම විටම ග්‍රාහකයින්ට සන්දේශ යැවීමට යැපෙන්නේ ඒ කෙරෙහිය. පුවත්පත් ආයතනයක් හෝ මාධ්‍ය ආයතනයක් සියලු ආදායම් සඳහා එක් තැනකට සම්බන්ධ වු විට ඇති වන ප්‍රතිඵලයද මෙයයි.