භාවමය විමෝචනය
 

මෙය වඩාත් සංකීර්ණ අවස්‌ථාවකි. භාව විමෝචනය සඳහා මාධ්‍ය භාවිතය පැහැදිලිව පෙනෙන්නකි. බියජනක චිත්‍රපටවලට ඇමෙරිකානු රසිකයෝ වඩාත් ප්‍රිය කළහ. ඩ්‍රැකියුලා, ප්‍රැන්කන්ස්‌ටින් වැනි චරිත වලින් පටන් ගෙන ඒලියන්ස්‌, සයිලන්ස්‌ ඔෆ් ද ලැම්බ්ස්‌ දක්‌වා මේ ප්‍රවණතාව දිටිය හැකිය. එසේම කදුළු ගෙන එන චිත්‍රපටද ජනප්‍රිය විය. මිනිස්‌සු කෑ ගසා හිත හදා ගනිති. හඬා සිත සනසා ගනිති.


අනික්‌ පැත්තෙන් බලන විට මේ ආකාරයේ භාව විමෝචනයත් වැදගත් වෙයි. සෝප් ඔපෙරා බලා සිටින ප්‍රේක්‌ෂකයෝ ඒ චරිත ඇත්තම චරිත නොවුණත් ඒ අයට තමන්ට වඩා දුක්‌ කරදර ඇතැයි පිළිගනිති. තවත් අය මාධ්‍ය වීරයන් සහ වීරවරින්ට ගෞරව කරති. ඔවුන්ගේ ජය ගැන සතුටු වෙති. ධම්.ජී. රාමචන්ද්‍රන්, ශිවාජි ගනේෂන්, රොබින් ප්‍රමනාන්දු, මාලනී ෆොන්සෙකා, ගාමිණී ෆොන්සෙකා වැනි නළු නිලියන් ගැන අප රටේද මෙවැනි ආකල්ප ඇත. මේ නාටක බලා සිටීමෙන් බොහෝ දෙනා තමන්ට ඇති ප්‍රශ්න මොනවාදැයි සිත සැහැල්ලු කර ගනිති.


මේ ආකාරයේ භාව විමෝචනය මාධ්‍ය අන්තර්ගතයෙන් අපේක්‌ෂිත මූලික කාර්යයකි. ඇරිස්‌ටෝටල් නම් ග්‍රීක විචාරකයා තමන්ගේ කාව්‍ය ශාස්‌ත්‍ර නම් කෘතියේ විග්‍රහ නොකොට සඳහනක්‌ පමණක්‌ කරන කැතාර්සිස්‌ - කැතාර්සීකරණය, භාව විරේචනය, භාව විශෝධනය, භාව විමෝචනය ද මේ අදහසට සමාන කළ හැකිය. කැතාර්සිස්‌ සංකල්පය රූපවාහිනියේ හිංසක ක්‍රියා ප්‍රදර්ශනයටද විරුද්ධව පැන නැගුණු මතවාදයක්‌ විය.


විභේදනයද තවත් මානව අවශ්‍යතාවකි. විභජනය විවිධාකාරය. පර්යේෂණ ප්‍රතිඵලවල හැටියට විභජනය,


1. දෛනික වැඩකටයුතු වලින් ඇති වන කළකිරීම ඉවත් කරවන උත්තේජකයක්‌ ලෙස
2. දිනපතා ජීවන පැවැත්මේ ඇති වන ගැටළුවලින් ඇති වන පීඩනයෙන් නිදහස්‌ කරවන විශ්‍රාන්තියක්‌ ලෙස
3. අවහිර කර තබා ගත් භාව සහ ශක්‌තිය නිදහස්‌ කරවන භාව විමෝචනයක්‌ ලෙස
දැක්‌විය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017