බන්ධක කාර්යය
 

එකිනෙකට අසම්බන්ධ සමාජයේ විවිධ මූලධර්ම පුද්ගලාන්තර නාලිකා මඟින් සම්බන්ධ කිරීමට ශක්‌තියක්‌ ජනමාධ්‍යවලට තිබේ. විශාල වෙළඳ දැන්වීම් ප්‍රයත්නවලින් භාණ්‌ඩ අලෙවි කරන්නන් සහ පාරිභෝගිකයින් සම්බන්ධ කෙරෙයි. ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරුන් කරන කියන දේ පිළිබඳව ඡන්දදායකයන් දැන ගන්නේ පුවත්පත් ඇතුළු මාධ්‍යවලිනි. සමහර රෝග සුව කිරීමට ඖෂධ නිෂ්පාදනය සඳහා මූල්‍යාධාර සොයන සේවාවල් සමහර දියුණු අපරදිග රටවල ඇති. එයද මෙම බන්ධක කාර්යයට නිදසුනකි. රෝගීන්ගේ වේදනාවත් සමඟ මෙම රෝගය නැති කිරීමට හිත ඇති අයගේ අපේක්‌ෂාවත් එක්‌ වෙයි.


තවත් ආකාරයකින් මෙම බන්ධන කාර්යය ඉටු වෙයි. එනම් භුගෝලීය වශයෙන් වෙන්ව ඇති දෙතැනක්‌ මාධ්‍ය මගින් එක්‌ කිරීමයි. උතුරේ සටන් බිම්වල සිටින තරුණ සෙබළ සෙබළියන් සමඟ රටේ අනික්‌ අය-නෑදෑ හිතවතුන් සම්බන්ධ වන්නේ මාධ්‍ය මගිනි. මැද පෙරදිග සිටින පිරිස්‌ හා ලංකාවේ නෑදෑයින් එක්‌ වීමද එවැන්නකි.


මාධ්‍ය මගින් මෙවැනි බන්ධක කාර්ය ඉටු කරන විට නව සමාජ කණ්‌ඩායම් බිහි කළ හැකිය. සමහර ලේඛකයෝ මෙම කටයුත්තට “ජනතා එකතු නිර්මාණයයි” කියති. මෙය මාධ්‍යයේ ශක්‌තියකි. මෙවැනි එකතු කිරීම් නිසා ඉතා ඉක්‌මනින් ජනතාව ජංගමකරණය කළ හැකි වෙයි.


අනික්‌ අතට මෙවැනි බන්ධක කාර්යයකින් නිශේධාත්මක ප්‍රතිඵලද ලැබිය හැකිය. සමාජ විරෝධි හැඟීම් ඇති පිරිස්‌ ද මෙම ආකාරයට බන්ධකගත කළ හැකිය. ත්‍රස්‌තවාදීන් ගැන දක්‌වන මාධ්‍ය ආවරණය අනික්‌ අය තුළත් එවැනි හැගීම් ඇති කරවයි. ලක්‌දිව රූපවාහිනී වැඩසටහනින් පැපොල්-ගස්‌ලබු-කෙසෙල් ආදියට කාබයිඩ් ගසන ආකාරය පෙන්වා දෙන ලදී. දැන් සිදුව ඇත්තේ වෙළඳපළවලට පිටිසර කොරටුවලින් මේ පළතුරු ගෙනෙන එම ක්‍රම අනුගමනය කොට බෙහෙත් ගැල්වීමයි. අන්තවාදී කණ්‌ඩායම් ගැන ප්‍රකාශනයෙන් යඑට පිරිස බඳවා ගත හැකිය. ලංකාවේ බොහෝ සංවිධානවල මෙකල වීඩියෝපට භාවිතයෙන් මෙම බන්ධක කාර්යයේ නිශේධාත්මක පක්‌ෂය ක්‍රියාවට නැංවෙයි.


හර හුරුව


හර හුවමාරු කර ගැනීම ඉතා සූක්‌ෂම කාර්යයක්‌ වුවත්, එයද ජන මාධ්‍ය සතු කටයුත්තකි. එයට සමාජකරණ කාර්යයි ද කියති. ඛිසියම් පුද්ගලයකු සමාජයක පවත්නා - සමාජ කණ්‌ඩායමක පවත්නා - චර්යාව සහ හර බාර ගැනීම සමාජීයකරණයයි. ජනමාධ්‍ය අපේ සමාජයේ නූතන ප්‍රතිරූපය ඉදිරිපත් කරයි. කියවීම, කන්දීම සහ දැකීම යන කරුණු මඟින් අපි සමාජ ජීවිතයේදී වඩාත් වැදගත් වන්නේ කවර හරදැයි අධ්‍යයනය කරමු. නිදසුනක්‌ වශයෙන් රූපවාහිනී මව්වරුන් ගන්න. ඔවුන් ඉතා කරුණාවන්ත, දරුවන් ලොකු කරන්නට කැමැති සුමුදුව කතා කරන තරුණියෝය. මේවායින් පෙන්වන්නේ මාතෘත්වය පිළිබඳ ප්‍රතිරූපයයි. එය වැදගත් සමාජ හරයකි. මෙය දිනපතා දකින පුද්ගලයෝ එම මාතෘත්වයේ ප්‍රතිරූපය අනුකරණය කරති. මේ අනුව එක්‌ පරපුරකින් තවත් පරපුරක සමාජීය හර සංක්‍රමණය වෙයි.


ජනමාධ්‍ය අපට පුද්ගලයින් ගැනද උගන්වයි. ඔවුන් හැසිරෙන අන්දම ක්‍රියා කරන අන්දම සහ සමාජය ඔවුන්ගෙන් අපේක්‌ෂා කරන දේවල් ඒ මගින් අපට දැන ගත හැකිය. වෙනත් වචනවලින් කියතොත් මාධ්‍ය අපට භුමිකා ආදර්ශන ඉදිරිපත් කරයි. ඒවා නරඹා අපට ඒවා අනුකරණය කළ හැකිය.


සමහර විටක මාධ්‍ය වුවමනාවෙන්ම තම ග්‍රාහකයින් තුළ චර්යා රටා සහ හර ස්‌ථාපනයට තැත් කරයි. මොටර්සයිකලයේ යන තරුණයින් හෙල්මට්‌ පැළඳ ගමන් කිරීම, ආසනපටි තද කර ගෙන මෝටර් වාහනවල යාම ආදී හර අපට පුරුදු කරන්නේ මාධ්‍යයි. කෑමට පෙර අත සෝදා ගැනීම, පන්සිල් පාඨ ළමයින්ට හුරු කිරීම සඳහා රූපවාහිනිය ලක්‌බිමට විශාල සේවයක්‌ කළ බව අධ්‍යයනයක කියැවිණි.


මේ ආකාරයෙන් සමාජිකරණ ව්‍යාපාරයේ කොටසක්‌ ජනමාධ්‍ය මගින් ඉටු කිරීම නිසා ඇති වන ප්‍රතිඵලද සලකා බලමු. මේ සමාජකරණයේ නියෝජිතයින් ලෙස මාධ්‍ය පෙනී සිටීම නිසා සමාජීය ස්‌ථාවරභාවය සඳහා මාධ්‍ය උදව් වෙයි. පොදු හර සහ අත්දැකීම් සමාජයේ සියලුම සාමාජිකයින් වෙත පැතිරවීම ජනමාධ්‍ය මගින් ඉටු කෙරෙයි. ඒ අනුව ඔවුන් අතර පොදු බැමි ඇති වෙයි. ජනමාධ්‍ය අන්තර්ගතයේ ඇති හර වර්ග සහ සංස්‌කෘතික තොරතුරු විශාල ආයතන මහින් එක්‌ කොට තෝරා ගෙන සමාජ තත්ව ඇති කිරීම සඳහා භාවිත කරති.


සමාජීය චර්යාවන් බලයෙන් පැවරීමෙන්ද ජනමාධ්‍යවලට හර අනුවර්තනය කළ හැකිය. මාධ්‍ය ආවරණවලින් සමාජයේ බහුතරයක හර ප්‍රදර්ශනය වෙයි. අපේ රටේ දැන් ඕනෑම දෙයකට ලිප්ටන් වටරවුමට ගෙන ගොස්‌ පිකටින් කරන ලෙස හෝ පෝස්‌ටර් බැනර් අල්ලා ඒවා රූපවාහිනී මගින් පෙන්වීම සුලභ උපක්‍රමයක්‌ වී ඇත. එයින් ප්‍රකාශ වන්නේ සත්‍ය සමාජ හරදැයි යන්න බොහෝ දෙනාට ගැටළුවක්‌ වී ඇත. එයින් හැගී යන්නේ සමහර ආවරණ මාධ්‍යවලට ප්‍රයෝජනවත් නොවන අතර ඒවා අපේක්‌ෂිත ප්‍රතිඵල ගෙන නොඑන බවයි.


සියලු ජනමාධ්‍යයන්ගෙන් වඩාත් ළමයින් සමාජිකරණයට වැදගත් වන්නේ රූපවාහිනී මාධ්‍යයයි. ංවුරුදු 18වන විට ඕනෑම ළමයකු ජීවිත කාලයේදී කර ඇති වැඩිම කටයුත්ත රූපවාහිනී නැරඹීමයි. එය අඩු වැඩි විය හැක්‌කේ නින්ද සමඟ පමණී. දියුණු රටක අවුරුදු 6-11 අතර ළමයින්ගේ සංඛ්‍යාව මිලියන 10ක්‌ විය හැකිය. මේ බලපෑම නිසාම බොහෝ ජනසන්නිවේදන විද්‍යාඥයෝ රූපවාහිනිය මේ ආකාරයට සමාජකරණයේ වැදගත් අවියක්‌ බවට පත් වුව හොත් දුෂ්කාර්ය මාලාවක්‌ද සිදු වෙතියි. අවවාද කළහ. හිංසක ක්‍රියා වැඩිපුර නරඹන ළමයි ඕනෑම දෙයක්‌ නීතියට අනුකුලව කරන ක්‍රමය හිංසාව යයි පිළිගනියි.


රූපවාහිනිය නිසා ඇති වන නිශේධාත්මක බලයක්‌ ලෙස දැක්‌වෙන අනික්‌ කරුණ නම් කාන්තා නිරූපණයයි. අධ්‍යයනවලින් හෙළ වන කරුණක්‌ නම් මේ මාධ්‍යය යම් යම් වෘත්තීන් පිළිබඳ දැනුම පිළිබඳ මූලාශ්‍රයක්‌ විය හැකි බවයි. රූපවාහිය සාවද්‍ය ප්‍රතිබිම්බනයක්‌ ඉදිරිපත් කිරීම ග්‍රාහකයින් කෙරෙහි දැඩිව බලපායි. 1970 ගණන්වලදී රූපවාහිනිය උච්ච ප්‍රේක්‌ෂා අවස්‌ථාවන්හි ප්‍රදර්ශනය කළ වැඩසටහන්වල කාන්තාවන් වැඩිපුරම යෙදී සිටි වෘත්තීන් දෙකක්‌ වූයේ ගෘහ කාන්තා වෘත්තීය සහ නීතිය ආරක්‌ෂා කිරීමේ තනතුරයි. මේ අවධියේ ඇති දැඩි වූ ගැහැණු ළමයින් බොහෝ දෙනා සිතුවේ තමන්ට අනාගතයේ හිමි රැකියා දෙකක්‌ ඇති බවත්, එකක්‌ විවාහ වීම බවත් අනික පොලිසියට බැදීම බවත්ය.


ජනමාධ්‍යයන්ගේ එක්‌ කාර්යයක්‌ ලෙස සමාජ පිළිගැනීම් ඉහළින් තැබීම ගන්නේ නම් වෙනත් ප්‍රශ්න මතු වෙයි. ඇමෙරිකානු ජනාධිපති අපේක්‌ෂකයකු ලෙස ඉදිරියට ආ ගැරී හාට්‌ තරුණිය සමඟ පෙම් දමින් වෙලී සිටින බව ප්‍රචාරය වීමත් සමඟම දේශපානඥයකුගේ පෞද්ගලික ජීවිතයෙන් කවර ප්‍රමාණයක්‌ ජනමාධ්‍යකරුවාගේ විමසිල්ලට ලක්‌ විය යුතුදැයි වාදවිවාද මතු විය. 1991-92 වර්ෂවල මාධ්‍ය වාර්තා නිසා චාල්ස්‌ රොබ් නම් ඇමෙරිකානු සෙනෙට්‌ මන්ත්‍රීවරයාගේ ජීවිතය ගැනත්, බිල් ක්‌ලින්ටන් ආණ්‌ඩුකාර කාලයේ ඔහුගේ කාන්තා සබඳතාත් මේ ගැටලුව නැවතත් මතු කළේය. බිල් ක්‌ලින්ටන් ජනාධිපති සහ මොනිකා ලෙව්න්ස්‌කි සබඳතාද ඒ තත්වයට පත් විය.


අවසාන වශයෙන් බහුජාතික සමාජවල ඒ ඒ වර්ගයා පිළිබඳ කෙරෙන හැඳින්වීම නිසා ඔවුන්ට පොදු චරිත ලක්‌ෂණ ආරූඩ කෙරෙයි. කල්ලන්, සුද්දන්, කතෝලිකයින්, ප්‍රොතෙස්‌තන්වාදීන්, සිංහලයින්, දෙමළුන්, මුස්‌ලිම්වරුන්, ක්‍රිස්‌තියානි, බෞද්ධ, හින්දු ආදී වැනි කණ්‌ඩායම්වලට වෙන් කිරීම සහ ඔවුන්ට ආවේණික ලක්‌ෂණ ඇතැයි විශ්වාසයක්‌ පැතිර යාමටද මේ පොදු ලකුණු ඉදිරිපත් කිරීමෙන් ඇති වන ගැටළුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017