සමාජය සඳහා ජන සන්නිවේදනයේ කාර්ය මාලාව
 

සමාජයක පැවැත්ම සඳහා සමහර සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ විය යුතුය. මේ අවශ්‍යතා සමාජයෙහි පැවැතුණේ අද ඊයේක සිට නොවේ. ඒවා යොහන් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයාගන්නට පෙරද, සැමුවෙල් එෆ්.බී. මොරිස්‌ මෝර්ස්‌ (තිත් සහ ඉරි) සංඥා පද්ධතිය සොයා ගන්නට පෙරද පැවතුණු ඒවාය. ප්‍රාථමික ගෝත්‍ර සහ රැකවල්ලු පරිසරය පීරා අතුරක්‌ අනතුරක්‌ ඇද්දැයි වාර්තා කළහ. වැඩිහිටියන්ගේ සභා එක්‌රැස්‌ව කරුණු සොයා බලා යම් යම් තීරණවලට එළඹුණහ. ගෝත්‍රික රැස්‌වීම් මෙකී තීරණ අනික්‌ සමූහයට දැන්වීමට ක්‍රියා කළහ. ජන සන්නිවේදනයේ ප්‍රවර්ධනයට ඉඩ සැලසූ තාක්‌ෂණය මතු වීමත් සමඟම මෙම කටයුතු ජන මාධ්‍ය මගින් බාර ගන්නා ලද බව පෙනේ. එහෙත් ඒවා සමාජයට අහිතකරයැයි සිතන පිරිසක්‌ ද සිටිය හැකිය. එවැනි හානිකර හෙවත් නිශේධ ප්‍රතිඵල වලට කියන්නේ දුෂ්කෘත්‍ය කියාය.


සර්ව්ලන්ස්‌ යනුවෙන් ඉංග්‍රීසියෙන් හදුන්වන පරීක්‌ෂාකාරි වීම හෝ මුරකාරකම යනු එක්‌ මාධ්‍ය කාර්යයකි. එයින් මාධ්‍යවල තොරතුරු සහ ප්‍රවෘත්ති භුමිකාව විස්‌තර වෙයි. මූලික සමාජවල මුරභටයින් කළ කටයුත්ත අද කරන්නේ මාධ්‍යයි. රැහැන් සේවා සඳහා කටයුතු කරන ප්‍රවෘත්ති ලේඛකයෝත්, රූපවාහිනී ජාලවල ප්‍රවෘත්ති ලේඛකයෝත්, පුවත්පත් වාර්තාකරුවෝත් ලොව පුරා සැරිසරති. අපටම සො ගත නොහැකි තොරතුරු මේ අය අපට සොයා ගෙන එති.


ඔවුන් ගෙන එන තොරතුරු මාධ්‍ය ආයතන මගින් පුනීලගත ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් සඳහා ප්‍රවෘත්ති ලෙසින් අප වෙත ඉදිරිපත් කෙරෙයි. මෙහි ප්‍රබලත්වය පෙනෙන්නේ ලොව පුරා විසිරී සිටින මෙවැනි ප්‍රවෘත්ති ලේඛකයින්ගේ සංඛ්‍යාව ලක්‌ෂයක්‌ ඉක්‌මවා ඇති නිසාය. ඔවුන්ගේ රාජකාරිය ප්‍රවෘත්ති ඒකරාශිකරණයයි. මේ පරීක්‌ෂාවෙන් සිටීමේ කාර්යය අනුශාඛා දෙකකට බෙදිය හැකිය. අනතුරු ඇඟවීමේ හෙවත් පරිස්‌සම් වීමේ පරීක්‌ෂාව පළමුවැන්නයි. කදු නායයාම්, ගංවතුර ගැලීම්, ආර්ථික අවපාතාත්මක ලකුණු, උද්ධමන වර්ධනය, හමුදා ප්‍රහාර ගැන මාධ්‍ය අපට කලින් දන්වයි. සමහර විට මෙවැනි අනතුරු ඇඟවීම්, ක්‌ෂණික තර්ජනයක්‌ ගැන විය හැකිය. සැර කුණාටුවක්‌ ළං වීම පිළිබඳ ප්‍රවෘත්ති රූපවාහිනී සහ ගුවන්විදුලි සේවා තම වැඩසටහන් නවත්වා ඒ ගැන අපට අනතුරු අඟවයි. නැත්නම් එය දීර්ඝකාලීන තර්ජනයක්‌ විය හැකිය.

දෙවැනි ක්‍රමය නම් ප්‍රභවාත්මක පරීක්‌ෂාවෙන් සටීමයි. එදිනෙදා ජීවිතයට වැදගත් සහ අවශ්‍ය වන තොරතුරු විකාශයෙන් මෙය සිදු වෙයි. චිත්‍රපට ශාලාවල පෙන්වන චිත්‍රපට, කොටස්‌ වෙළඳපොලේ දෛනික පිරිවැටුම, නව නිෂ්පාදන විලාසිතා, කෑම වට්‌ටෝරු ආදිය ඊට නිදසුන්ය. මේ අංශයට වැටෙන සියල්ලම ප්‍රවෘත්තියැයි නොසිතයි යුතුයි. රීඩර්ස්‌ ඩයිජෙස්‌ට්‌ හෝ පීපල් වැනි සඟරා ප්‍රභවාත්මක පරික්‌ෂාවෙන් සිටීමට නිදසුන්ය. පරිගණක විද්‍යාව හෝ උද්‍යාන වගාව වැනි විශේෂිත සඟරාවක්‌ වුවත් ඉටු කරන්නේ පරික්‌ෂාවෙන් සිටීමේ කාර්යයි. එසේම, ජනප්‍රිය ටෙලිනාට්‍යයක වුවත් විනෝදය සපයන අතරතුර නව කොණ්‌ඩා මෝස්‌තරයක්‌ හෝ විසිත්ත කාර සැකසුමක්‌ තිබිය හැකිය. එයද පරීක්‌ෂාවෙන් සිටීමේ කාර්යය ඉටු කරයි.

ජනමාධ්‍යවලට මෙම පරීක්‌ෂාවෙන් සිටීමේ කටයුත්ත මුළුමනින්ම බාර දීම නිසා සිදු වන දෙවැනි ප්‍රතිඵලය නම් ඊට වඩා සංකීර්ණය. ප්‍රාග් ඓතිහාසික අවධිවල යුද්ධයක්‌ ඇති වුවහොත් මහජනයාට ඒ ගැන දැනගැනීම ඉතා සරල විය. අමුත්තකු පැමිණ ගල්ගුහාවේ කට ළගදී එහි සිටින්නාට මුගුරක්‌ ප්‍රදානය කරයි. මෙය කාටත් දැකිය හැකි සිද්ධියකි. ආදිකාලීන මිනිසාගේ සියල්ල සිදු වන්නේ පේන මානයේය. එහෙත් ජනමාධ්‍ය නිසා අපේ ඇස්‌ දිෂ්ටියට නොවැටෙන හැම තැනක්‌ම අපට පෙනේ. අප ලෝකය ගැන දන්නා බොහෝ දේවල් යන්ත්‍ර-ක්‍රියාකරණයේ ප්‍රතිඵලයි. ප්‍රවෘත්ති වාර්තාකරුවෝ හා සංස්‌කාරකයෝ ලෝකය මවා දෙති. මේ නිසා ඇත්තෙන්ම අප ලෝකය දැනගන්නේ දෙවැනියකුගේ මාර්ගයෙනි. මේ දෙවැනි පරපුරේ ප්‍රවෘත්ති අපි කිසි දිනක සැක නොකරමු. අද ඉතා විදග්ධ ජන සන්නිවේදන පද්ධති මගින් අන්‍යයන් අපට ලබා දෙන ප්‍රවෘත්ති කෙරෙහි අපි විශ්වාසය තබා ගෙන සිටිමු. මේවා ඇත්තටම සිදු වුණාදැයි කියා විමසා බලන්නට අපට නොහැකිය. ඔවුහු අප වෙනුවෙන් පරීක්‌ෂාවෙන් සිටිති. මෙම විශ්වාසනීයභාවය, කවර මාධ්‍යයක සිටින අය අපට සත්‍යය තොරතුරු ගෙන එනවාදැයි තීරණය කර ගන්නට අපට උපකාර වෙයි.


මාධ්‍ය මගින් කෙරෙන මෙම පරීක්‌ෂාවෙන් සිටීම කාන්සාව ඇති කරයි. සමහර විටක යම් යම් අය කරන සාවද්‍ය ප්‍රකාශන මනුෂ්‍ය ජීවිත අවුල් කරවයි. අමහර විටක විද්‍යඥයකු ප්‍රකාශකරන භුමිකම්පා අනාවැකියක්‌ නිසා රක්‌ෂණ සහතික වැඩිපුර අලෙවි වීම, පාසල් වසා දැමීම, කඩ සාප්පු වසා දැමීම ආදිය සිදු වෙයි. මෙම අනිසි ප්‍රචාරය නිසා මිනිස්‌ සමාජය අවුල් වෙයි. මාධ්‍ය ආවරණය සාවද්‍ය අපේක්‌ෂාවන් ජනනය කිරීම නිසා දුෂ්කාර්යාත්මක වීමටද ඉඩ ඇත. වරින් වර මාධ්‍ය මගින් ඒඩ්ස්‌ රෝගය සඳහා නිට්‌ටාවට සුව කරන ඖෂධයක්‌ සොයා ගත් බව කියන වාර්තා ඔබ දැක ඇත. ලක්‌දිව ආයුර්වේද වෛද්‍යවරුන් මේ සඳහා ඖෂධ ඇතැයි කියති. පිළිකා රෝග සුවකරන වෙද මහත්වරුන් ගැනද වරින් වර මාධ්‍ය ආවරණ ලැබේ. 1990 ගණන්වල රුධිරය උෂ්නත්වයට පත් කිරීමෙන් රෝගය සුව වෙතියි කළ මාධ්‍ය ආවරණය යුරෝපය පුරා මහත් ආන්දෝලනයක්‌ ඇති කළේය. එය එක්‌ රෝගියකු විෂයයෙහි කළ මතු පිට අත්හදාබැලීමකි. නොඑසේව එය විද්‍යාත්මක රෝග නිවාරණයක්‌ නොවීය. සමාජ විද්‍යාඥයෝ මෙය තත්ත්ව ප්‍රදානයයි හදුන්වති.


මෙහි පදනම නම් යමක්‌ ග්‍රාහකයා විසින් පිළිගනු ලැබීමයි. ඔබ සෑහෙන කෙනෙකු නම් ඔබට මාධ්‍ය ප්‍රචාරය ලැබීම ඇත්තෙන්ම සිදු වෙයි. ඔබට මාධ්‍ය ප්‍රචාරය ලැබේ නම් ඔබ වැදගතෙකි. මේ අදහස බහුලව ව්‍යාප්ත වන අදහසයි. මෙම කරුණ දන්නා අය කෙසේ හෝ මාධ්‍යකරුවන් ලවා තමා ගැන ලියවා ගැනීමට කියවා ගැනීමට පෙළඹෙයි.

පරීක්‌ෂාවෙන් සිටීමේ කාර්යයට ආබද්ධ අංශයක්‌ නම් අර්ථකථන කාර්යයි. ජනමාධ්‍ය නිකම්ම කරුණු ඉදිරිපත් නොකරයි. ඒවා එම තොරතුරු සැපයීමත් ඒවාට අර්ථකථනයක්‌ සැපයීමත් සිදු කරමින් ඒවාට සම්භාව්‍යභාවයක්‌ - වැදගත්කමක්‌ දෙයි. එක්‌ දවසක්‌ තුළ සිදු වන සකල සංසිද්ධි කිසිවකුට මාධ්‍ය මගින් ඉදිරිපත් කළ නොහැකිය. මාධ්‍ය ආයතන හිමියෝ අසවල් සිදුවීම්වලට අසවල් කාලයක්‌ හෝ අවකාශයක්‌ දිය යුත යැයි තීරණය කරති. 12 වැනි පිටුවේ අවකාශයත් තීරු අටක ශීර්ෂ පාඨයක්‌ ලබන ප්‍රවෘත්තිය වැදගත්කමින් වැඩිය. රූපවාහිනී ප්‍රවෘත්ති බුලටිනයක මුල විනාඩි දෙකක්‌ ලබා ගන්නා ප්‍රවෘත්තිය එහි අග එන විනාඩි දෙකේ ප්‍රවෘත්තිවලට වඩා වැදගත්කමින් හා ප්‍රවෘත්ති ගුණයෙන් වැඩිය. මෙම පටිපාටිගත කිරීම කරන්නේ ද්වාරපාලකයින් විසිනි. ඒවායේ වැදගත්කමේ ප්‍රමාණය මනින්නෝ ඔවුහුය.


මෙම කාර්යය වඩාත් හොඳින් සිදුවන්නේ කතුවැකිය ලියැවෙන පිටුවේය. එහි දැක්‌වෙන අර්ථකථන, විවරණ සහ මත ආදිය අනික්‌ පිටුවල දැක්‌වුණු තොරතුරු ගැන වඩාත් දැඩි අවධානයක්‌ද පර්යාලෝකයක්‌ද සපයයි. මන්ත්‍රීවරයකු අල්ලස්‌ චෝදනාවකට ලක්‌ විණැයි ප්‍රවෘත්තියක්‌ පළ විය හැකිය. කතුවැකියෙන් එවැනි මන්ත්‍රීවරුන් වහාම ඉවත් කළ යුතු යැයිද හෝ ඉල්ලා අස්‌විය යුතු යයිද කීම එවැනි සංසිද්ධියකට කෙරෙන අර්ථකථනයකි. පුවත්පතේ කළමණාකරණය එම අල්ලස්‌ ගැනීම කළ තැනැත්තා පිටු දැක්‌ක යුතු බව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගනියි. සමහර පත් වීම් ගැන දැක්‌වෙන ප්‍රවෘත්තිවලට අර්ථ විවරණ පුවත්පත්වල මේ පිටුවේ දැක්‌වෙයි. අග්‍රවිනිශ්චයකාරයා පත් කිරීම ගැන පුවත්පත්වල කෙරුණු විවරණ - චැනල් නයින් රූපවාහිනී නාලිකාව ගැන කළ විවරණ මේ ගණයට අයිතිය. පුද්ගලයන්ගේ නුසුදුසුකම් මෙන්ම සුදුසුකම්ද ගැන එවැනි විවරණ කළ හැකිය.


මෙවැනි අර්ථකථන කතුවැකියට පමණක්‌ සීමා නොවේ. කිසියම් සංසිද්ධියකට පසුබිම් වු හේතු විශ්ලේෂණයක්‌ කිරීම හෝ රජයේ නව ප්‍රතිපත්තියක්‌ ගැන විග්‍රහ කිරීම හෝ මෙම අර්ථකථන කාර්යයට නිදසුන් කොට දැක්‌විය හැකිය. රජයේ සමඅවස්‌ථා පණත විසිවුණේ මාධ්‍ය කළ අර්ථකථන නිසාය. එළවළු ගිනි ගණන් යන්නේ ඇයි? ගෑස්‌ මිළ වැඩි කරන්නේ ඇයි? අධ්‍යාපනික ප්‍රතිසංස්‌කරණ අවශ්‍ය ඇයි? මේ මාතෘකා උඩ ලියැවෙන ලිපිවල ඇත්තේ ප්‍රවෘත්ති කතා නොවේ.


මෙවැනි අර්ථනය කිරීම් විවිධ ස්‌වරූප ගනියි. කතුවැකි පිටුවේ ඇති විකට චිත්‍ර-කාටූන් වඩාත් ජනප්‍රිය විධියකි. දිවයින පුවත්පතේ එන විජේසෝමගේ කාටූන් චිත්‍රයක්‌ බලන්න. මෙවැනි විකට චිත්‍ර පහළ වූයේ ක්‍රි.ව. 1754 දීයයි කියති. විවිධ මාධ්‍ය මගින් චිත්‍රපට විචාරය, ග්‍රන්ථ විචාරය, නාටක විචාරය ගැන ලියන විචාරකයින් පත් කර තිබේ. සමහර පුවත්පත් සහ සඟරාවල අවන්හල්, මෝටර් වාහන, ගෘහ නිර්මාණ ශිල්පය, ආගමික සේවා පවා විචාර කර ලිපි පළ කරයි.


ජන මාධ්‍ය මගින් මෙම කාර්ය ඉටු කරන විට ඉන් ඇති වන ප්‍රතිඵල මොනවාද? පළමුව පුද්ගලයා විවිධාකාර දෘෂ්ටිකෝණවලට භාජන වෙයි. තමන්ට පෞද්ගලිකව ලබාගත නොහැකි තරම් අදහස්‌ සමූහයක්‌ ඔහුට ලැබෙයි. ඒ නිසා කෙනෙකුට තීරණයකට එන්නට පෙර බොහෝ කරුණු සසඳා බලන්නට ඉඩ ලැබෙයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙන් කෙනෙකුට ලබා ගත නොහැකි තරම් විශාල කාරණා රැසක්‌ ලබා ගත හැකි වීම මෙහි භාග්‍යයකි. අපේ රටේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් කළ යුතුද? යන්න ගැන විද්‍යාඥයින්ගේ, සමාජීය නායකයන්ගේ දේශපාලකයන්ගේ හා රජයේ සේවකයින්ගේ වැනි විවිධ තරාතිරම්වල අයගේ අදහස්‌ කෙනෙකුට මාධ්‍ය නිසා දැන ගන්නට පුළුවන් කම ලැබේ.


එසේ වුවත් මෙහිදී දුෂ්කාර්යක්‌ සිදු වීමට ඉඩ ඇත. මාධ්‍ය අන්තර්ගතය පොදු එකකි. ඒ නිසා විචාරයක්‌ ප්‍රශංසාචක්‌ ඇතිනම් (පුද්ගලයකු හෝ කණ්‌ඩායමක) එයද පොදු එකකි. එයින් මාධ්‍යයට සක්‍රිය හෝ අක්‍රිය ප්‍රතිඵල ඇති විය හැකිය. රිචඩ් නික්‌සන් ජනාධිපතිවරයාගේ කාර්යභාරය වෝටර්ගේට්‌ සංසිද්ධියේදී විචාරයට ලක්‌ කළ ජනමාධ්‍ය ආයතනවලට ජනාධිපතිගේ ධවල මන්දිර නිලධාරිහු ආර්ථික පලිගැනීම් කරන බවට තර්ජනය කළහ. ලංකාවේ වුවත් ජනමාධ්‍යකරුවන්ට රජයෙන් හෝ වෙනත් බලධාරින්ගෙන් ලැබෙන එවැනි තර්ජන ගැන අප කෙතරම් අසා ඇත්ද?


මේ අතර අනික්‌ පැත්තෙන් බලට විට මාධ්‍යවලට මේ සියලුම කටයුතු බාර දීම නිසා සිදු වන තවත් දෙයක්‌ තිබේ. එනම් මාධ්‍ය කෙරෙහි විශ්වාසය තැබීම මිස තමන්ගේ විචාරාත්මක චින්තනය මුළුමනින්ම නැති කර ගැනීම බොහෝ දෙනාට සිදුවන්නකි. "රේඩියෝ එකේ කිව්වේ" "පත්තරේ තියෙන්නේ" ටෙලිවිෂන් එකේ කිව්වෙ" වැනි වචන ඔබ කොතෙක්‌ අසා තිබේද? "මගේ අදහස නම් මේකයි" කියන අය කෙතරම් අවමද? මේ නිසා මාධ්‍ය කෙරෙහිම විශ්වාසය තැබීම නිසා එක්‌ අතකින් සමාජයට සිදුවන්නේ දුෂ්කාර්යයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017