ජන මාධ්‍යයන්ගේ භාවිතය සහ ක්‍රියාකාරිත්වය
 

මාධ්‍යය, පුද්ගලයන් සහ සමාජය අතර පවත්නා සම්බන්ධතා විවිධ ක්‍රමවලින් විස්‌තර කළ හැකිය. කෙනෙකුට ජන සන්නිවේදනයේ ප්‍රලෝහන අංශය ගැන සාකච්ඡා කළ හැකිය. නැත්නම් මාධ්‍යයන්ගේ සමාජ විද්‍යාත්මක පරිසරය විස්‌තර කළ හැකිය. නැත්නම් අපේ ජීවිතය කෙරෙහි හෝ සංස්‌කෘතිය කෙරෙහි මාධ්‍ය බලපෑම ගැන විමසීමක්‌ කළ හැකිය. මේ අතින් වඩාත් ඵලදායි වන්නේ මාධ්‍යයන් ගැන සාකච්ඡා කිරීමට කාර්යාත්මක ප්‍රවේශය භාවිත කිරීමයි. එම ශිල්ප ක්‍රමය.


1. අපට ජන සන්නිවේදනය පරීක්‌ෂා කිරීමට උචිත පර්යාලෝකයක්‌ සපයයි.
2. මාධ්‍ය චර්යාව අවබෝධ කර ගැනීමට උපකාර වන සංකල්පය ජනනය කරයි.
3. මාධ්‍ය මඟින් ලැබෙන විවිධාකාර ප්‍රතිලාභ පිළිබඳ අප දැනුමැත්තන් බවට පත් කරයි.


මෙම ප්‍රවේශයෙන් අදහස්‌ කරන්නේ ජන මාධ්‍යයන්ගේ අවබෝධය සඳහා එය භාවිත කරන ආකාරය විමසිල්ලට ලක්‌ කිරීමයි. වෙනත් විදයකින් කියතොත් මාධ්‍ය සමඟ ග්‍රාහකයින් පවත්වන අන්තර්ක්‍රියා විග්‍රහ කිරීමයි. මෙය ඉතා සරල ප්‍රවේශයකි.


ජන සන්නිවේදනයේ භුමිකාව


ජන සන්නිවේදනයේ භුමිකාව වඩාත් හොඳින් අපට අවබෝධ කර ගත හැකි වන්නේ හදිසියේම එකී පද්ධති නොමැති වන තත්වයක්‌ උපකල්පනය කිරීමෙනි. ඔබට පුවත්පත් නොකියවා, සඟරාවක්‌ නොදැක, රූපවාහිනිය නොබලා, ගුවන්විදුලිය නොඅසා, චිත්‍රපටයක්‌ නොබලා සිටිය හැකිද? එසේ වූ කල්හි ඔබ පකිස්‌තානයේ හමුදා ආණ්‌ඩුව ගැන, දකුණු ආසියාවේ මූල්‍ය අර්බුදය ගැන, මෙරට ජනාධිපතිවරණය ගැන, ඉන්ධන මිල හෝ ගෑස්‌ මිල වැඩි කිරීම ගැන දැන ගන්නේ කෙසේද? පැහැදිලිව පෙනී යන්නේ ජන මාධ්‍ය අපගේ ජීවිතයේ සියලුම අංශ කෙරෙහි බලපාන බවයි. විවිධ මාධ්‍ය විවිධාකාර මූලික භාවිත වලට භාජන වෙයි. අප වාහනය එලවන විට ප්‍රවෘත්ති දැන ගැනීමට ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන නමුත් ඒ සඳහා පුවත්පත පෙරළා බලන්නේ නැත. ඉතිහාස මහාචාර්යවරයා නව මතයක්‌ ගැන ශාස්‌ත්‍රීය සඟරාවක්‌ කියවයි. තවත් කෙනෙක්‌ එම සඟරාවෙම ඇති සරල ලිපියක්‌ කියවයි. එම නිසා මේ ජනමාධ්‍යය ජන ජීවිතය සහ සමාජය කෙරෙහි කරන බලපෑම් විග්‍රහ කිරීමට විශ්ලේෂණ ක්‍රම දෙකක්‌ භාවිත කළ හැකිය. පළමුවැන්න සමාජ විද්‍යාඥයකුගේ පර්යාලෝකයෙන් පුළුල් කෝණයකින් මුළු සමාජය කෙරෙහිම ජන මාධ්‍ය ඉටු කරන කාර්ය මාලාව විග්‍රහයයි. මේ ක්‍රමවේදයට සමහරු සාර්ව විශ්ලේෂණ විධියයි කියති. මෙහිදී ජන සන්නිවේදකයාගේ පැහැදිලි පරමාර්ථය කෙරෙහි අපගේ අවධානය යොමු වන අතර මාධ්‍යයේ අන්තර්ගතය තුළින් එම පරමාර්ථය ඉටු කර ගන්නා ආකාරය කෙරෙහි සැලකිලිමත් වෙයි. දෙවැන්න මාධ්‍ය අන්තර්ගතය ග්‍රහණය කරන පුද්ගලයා දෙස සමීප දෘෂ්ටියකින් විමසමින් එකී ග්‍රාහකයින්ගෙන් ඔවුන් ජන මාධ්‍ය භාවිතයට ගන්නා ආකාරය විමසා බැලීමයි. මෙය හදුන්වන්නේ සාරවිශ්ලේෂණය නමිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017