ද්වාරපාලකයෝ
 

ජන සන්නිවේදකයා මතකයට ගත යුතු වැදගත් කරුණක්‌ නම් මෙහි බහුවිධ ද්වාරපාලකයා යනු අවසාන වශයෙන් මහජනයා වෙත ළඟා විය යුතු කවර දෙදැයි පාලනය කරන පුද්ගලයා හෝ කණ්‌ඩායමයි. සෑම ජන සන්නිවේදන ආයතනයකම ද්වාරපාලකයෝ විශාල සංඛ්‍යාවක්‌ සිටිති. සමහරු අනික්‌ අයට වඩා කැපී පෙනෙන සුල්ලෝය. රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂවරයා හෝ පුවත්පතක කතුවරයා අනික්‌ ද්වාරපාලකයින්ට වඩා කැපී පෙනේ.


සමහර මාධ්‍ය ආයතනවල සිටින ද්වාරපාලකයා ඉතාම සුළු නිලධාරියෙකි. ඉතා ප්‍රබල මාධ්‍ය ආයතනයකට ඔබ යවන පිටපතක්‌ ලැබුණු විට එය නොකියවාම ආපසු එවන ලිපිකරු එවැනි සුළු නිලධාරියෙකි. ඔබ ඉතා සාර්ථකයැයි සිතන රූපවාහිනී මාලා නාටක පිටපතක්‌ ගෙන මාධ්‍ය ආයතනයට යන්න. පිළිගැනීමේ නිලධාරිනියට නමක්‌ ගමක්‌ ප්‍රසිද්ධ නැති අය ගෙනෙන මෙවැනි පිටපත් බාර නොගන්නයි ඉහළින් නියෝගයක්‌ ලැබී ඇත. ඇය සිනහසී අපි මේවා බාරගන්නේ නැහැ යයි කියයි. ධතැනින් ඔබගේ දොර වැසෙයි. ඔබ තවත් ආයතන දහයකට කතා කරන්න.

ඒවායේ සිටින පිළිගැනීමේ නිලධාරිනියෝ "අපි අලුත් ලේඛකයන්ගේ කෘති බාර ගන්නේ නැතැයි" කියති. මේ හැම දෙනාම ද්වාරපාලකයෝය. "හා පිටපත එවන්න" කියන තැනැත්තා ළගට ඔබ සතුටින් යයි. ඔහු තත්පත් ගණනකින් ඒ උඩින් පල්ලෙන් පෙරළා බලා ඔබට ආපසු දෙයි. "මේවාගේ ඒවා සියගණනක්‌ අර අල්මාරිය උඩ තියෙන්නේ" ඔබ ආරම්භ කරන මෙම ගමනේදී පසු කළ යුතු දොරටු සංඛ්‍යාව අප්‍රමාණය.

ඔබට පුවත්පත් ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂ ගේ අනුදැනුම ඇතිව ඔබගේ පැවැරුම් සංස්‌කාරක කිසියම් සංසිද්ධි ආවරණය කිරීම ඔබට බාර කරයි. වාර්තාකරු එහි වාර්තාකරණයට සුදුසු යමක්‌ ඇත්දැයි සැක සිතයි. අවසානයේ සංස්‌කාරක එම වාර්තාව සංක්‌ෂිප්ත කරයි. නැත්නම් මුළුමනින්ම ඉවත දමයි. මේ නිසා ජන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ ද්වාරපාලකයින් බොහෝ සිටින බව සිත් තබා ගත යුතුයි. ආයතනය සංකීර්ණභාවයෙන් වැඩිවත්ම ඔවුන්ගේ සංඛ්‍යාවද ඉහළ යයි.

(c) Shilpa Sayura Foundation 2006-2017