මංගල සම්මත වස්‌තුන්
 

ඉපදීමේ සිට අප ඉටු කරන සෑම චාරිත්‍රයක්‌ සුභ කටයුත්තක්‌ සඳහා ම භාවිතා කරන්නේ සුභ ලකුණු නැතහොත් මංගල සම්මත වස්‌තුන්ය. මංගල සම්මත වස්‌තුන් ලෙස පිළිගැනෙන ද්‍රව්‍ය පිළිබඳව විමසා බැලීමේදී පෙනීයන්නේ අපගේ ජීවිතය ස්‌වභාවික පරිසරය සමඟ ඉතා තදින් බද්ධ වී ඇති බවයි. ස්‌වභාව ධර්මයාගේ අපූරු නිර්මාණ බොහොමයක්‌ අපේ ජීවිතයට ඉතාමත් සමීපය.


අප නිරන්තරයෙන් දකින්න ප්‍රිය කරන්නේ පිරුණු දේවල්ය. මේ අතරින් ජලයට හිමිවන්නේ සුවිශේෂි තැනකි. පවිත්‍රත්වයේ, සෞභාග්‍යයේ සංකේතයක්‌ ලෙස පැරැන්නන් විශ්වාස කළ ජලය කෙතරම් දුරට අපේ ජීවිතයට සමීපද යන වග අප තේරුම් ගත යුතුය.
අප ගමනක්‌ යන විට පිරුණු ජල බදුනක්‌ ඉදිරියට මුණ ගැසුණේ නම් අපගේ සිතට ඇති වන්නේ ප්‍රබෝධයකි. ගේ දොරකඩ ජලය පිරි බදුනකට මල් දමා තැබීම ද හිත සතුටු කිරීමේ සංකේතයකි. මල්වරය - විවාහය වැනි අවස්‌ථා වලදී මෙන්ම, පිරිත වැනි ආගමික උත්සව වලදීද ජලය ප්‍රධාන වූ ශුද්ධ වස්‌තුවකි. වී සහ සහල් ජන ජීවිතයට නැතිවම බැරි ද්‍රව්‍යයන්ය. කෘෂි ආර්ථික රටාවකට පුරුදු පුහුණු වූ අපගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. තුන්වේලම බත බුලතින් සප්පායම් වූ අපේ පැරණි මුතුන් මිත්තන් ඒ ආශ්‍රිතව ඉටු කළ චාරිත්‍ර වාරිත්‍ර වතාවන් ද අකුරටම ඉටු කරන ලදී.

කිරි මිශ්‍ර කර පිළියෙල කරන කිරිබත ද ශුද්ධ ආහාරයක්‌ වශයෙන් සලකති. බුද්ධත්වයට පෙර බෝසතාණන් වහන්සේට සුජාතාව පිළිගැන්වූ කිරිපිඩු දානයද බාරහාර සඳහා කිරි අම්මාවරුන් උදෙසා දෙනු ලබන කිරි දානයද ඉතා වැදගත් තැනක්‌ උසුලයි. ජීවිතයේ සෑම මංගල කටයුත්තක්‌ම ආරම්භ වන්නේ කිරිබත් කෑල්ලක්‌ අනුභව කිරීමෙනි. ජන ජීවිතයට  ඉතා සමීප වූ කප් රුකක්‌ ලෙස පොල්ගස හැඳින්විය හැකිය. දෙවියන් පිදීමේදී භාවිතා කරන අනිවාර්ය පූජා භාණ්‌ඩයක්‌ වන පොල් ගෙඩිය මංගල සම්මත වස්‌තුවක්‌ ලෙස ද සඳහන් වේ.

මංගල අවස්‌ථාවන්හිදී පොල් ගෙඩියක්‌ බිඳීම සුභ ලකුණකි. සුභ නිමිත්තකි. එහෙත් පොල් ගෙඩිය බිඳීම පිළිබඳව විවිධ මත සමාජයේ කොතෙකුත් ඇත. දැරියක්‌ මල්වර වීමේදී පොල් බිඳීම සිරිතකි. එමෙන්ම මංගල පෝරුවෙන් බසිනා විටද පොල් ගෙඩියක්‌ දෙපලු කිරීම චාරිත්‍රයකි. දෙවියන් උදෙසා බාරහාර ඔප්පු සිද්ධ කිරීමේදී ද පොල් ගැසීම සිරිතකි. එමෙන්ම මංගල සම්මත වස්‌තුවක්‌ ලෙස පොල්මලට ද හිමිවන්නේ සුවිශේෂි ස්‌ථානයකි. පුෂ්ප මංජරියක්‌ ලෙස සලකනු ලබන පොල් මල - මාරුක්‌මල, නෙරළු මල යනුවෙන් ද හදුන්වති. විවිධ මංගල අවශ්‍යතාවයන්හි දී භාවිතයට ගැනෙන පොල් මල් පුන්කලස  සඳහා ද යොදා ගැනින. පූර්ණ ඝඨය, පිරුණු කළය යනුවෙන් ද හදුන්වන පුන්කලස සිංහල චාරිත්‍ර අතර ප්‍රධාන තැනක්‌ උසුලයි.


මංගල පෝරුවේදී සතරවරම් දෙවියන් උදෙසා පහන් දැල්වීමට භාවිතා කරන්නේ ද පුන්කලසයි. දැරියක්‌ වැඩිවියට පත්වීමේදී ඉටුකරන චාරිත්‍ර අතර පුන්කලස ප්‍රධානය. මංඩපය වටා පුන්කලස්‌ හතරක්‌ තැබීම සිරිතය. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව භුමි මහී කාන්තාව හිසමත පුන්කලස දරාගෙන බුද්ධත්වයට සාක්‌ෂිලෙස මතු වූ බව සඳහන්වේ. විවිධ යාගහෝම ශාන්ති කර්ම ආදියෙහි ද පුන්කලස නැතිවම බැරි මංගල සම්මත වස්‌තුවකි.

පුෂ්ප මංජරියක්‌ වන පුවක්‌මලද මංහල සම්මත වස්‌තුවකි. කිලි කුණු ඉවත් කිරීමේ, පිරිසිදු කිරීමේ බලයක්‌ ඇතැයි විශ්වාස කෙරෙන පුවක්‌ මල අප ඉටුකරන නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර අතරේ අපට දැකිය හැකිය. පිරිත් මණ්‌ඩපයේදී සහ යාග හෝමාදියේ දී පවිත්‍රත්වය සඳහා කහ දියර ඉසින්නේද, පිරිත් පැන් ඉසින්නේද පුවක්‌ මල් කිනිත්තකිනි.

නාගවල්ලි - තාම්බුල යනුවෙන් හදුන්වනු ලබන බුලත් අපේ සිංහල ජන ජීවිතයට නැතිවම බැරි මංගල සම්මත වස්‌තුවකි. නාගලෝකයෙන් මෙහි ගෙනවිත් ඇතැයි සැලකෙන බුලත් අපගේ සියළුම මංගල අවශ්‍යතාවයන් හිදී ප්‍රයෝජනයට ගැනේ. ගුරුවරුන් වැඳ නමස්‌කාර කළේද බුලත් හුරුල්ලක්‌ දීමෙනි. දෙමාපියන් වදින්නේද බුලත් හුරුල්ලක්‌ දීමෙනි. පැරැන්නන් අතර බත බුලත පිළිබඳව විශාල ගෞරවයක්‌ තිබිණ. ගෙදර හෙප්පුවේ ඇති කළමණා දෙස බලා සිය වත් පොහොසත්කම් බැලීමටද පැරැන්නන් පුරුදු වී ඇත. බුලත් හැපීම, පැරණි ජන ජීවිතයේ පමණක්‌ නොව, වර්තමානයේද බහුලව දැකිය හැක. මංගල පෝරුවේදී දෙවියන් උදෙසා තබන බුලත් හුරුල්ල දළුමුර යනුවෙන් හදුන්වති. විවිධ යාතු කර්ම වලදීද දළුමුර පිදීම සිදුකරයි. හත්මුතු පරම්පරාව සිහිපත් කිරීම සඳහා හුවමාරු කරන බුලත් හඟළ හුරුළු නමින් හදුන්වති. ඖෂධීය ගුණයෙන් හෙබි බුලත් සැබවින්ම මංගල සම්මත වස්‌තුවකි. ලද පස්‌මල් සෑම චාරිත්‍රයකදී ම භාවිතා කරන මංගල සම්මත වස්‌තුවකි. සමන් පිච්ච, සුනු සහල්, විළඳ, ඵල අබ, ඊතන යන පස්‌ වර්ගය මෙයට අයත් ය.

සමන් පිච්ච, සුනු සහල්, විළඳ සෞභාග්‍යය ළඟා කරන වස්‌තුන් ලෙසත්, ඵල අබ, ඊතන අභාග්‍ය දුරුකරන වස්‌තුන් ලෙසත් හදුන්වති. මංගල අවස්‌ථාවන්හිදී පමණක්‌ නොව පිරිත් වැනි පුද පූජා ආදිය සඳහා ද ලද පස්‌මල් භාවිතයට ගැනේ. බෝසතාණන් බුද්ධත්වයට පත්වූ මොහොතේ බෝධි මණ්‌ඩලයෙහි අතොරක්‌ නැතිව දෙවියන් විසින් පස්‌මල් ඉසූ බව කියවේ.
පඬුරු ධන සම්පතක්‌ ළඟා කරවන සංකේතයක්‌ ලෙස හදුන්වති. මෙසේ බලන කළ ජීවිතයේදී අප ඉටුකරන සෑම ක්‍රියාවක්‌ම පරිසරය සමඟ ඒකාත්මික වී ඇති බව නොරහසකි. අප සැවොම ස්‌වභාවධර්මයේ නිර්මාණයන්ය. එසේ හෙයින් අප ඉටු කරන සෑම කාර්යක්‌ම මංගල කාර්යකි.

මේ සුභ ලකුණු අපගේ හිත් සතුටු කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇත. මෙම මංගල සම්මත වස්‌තුන් අපේ ජන ජීවිතයෙන් බැහැර කිරීමට නොහැකි අන්දමට අපේ ජීවිතයට සමීප වී ඇත්තේ එහෙයිනි.
අටමගල නැතහොත් අෂ්ඨ මංගල යනුවෙන් හදුන්වන්නේ මංගල සම්මත වස්‌තුන් අටකි. විවිධ ප්‍රදේශවල විවිධාකාරයට හදුන්වන අෂ්ඨ මංගල පැරැන්නන් නොයෙක්‌ සැරසිලි චිත්‍ර කර්මාන්ත ආදියටද යොදා ගත් බව පැහැදිලිය. නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයේදී අතුරන ලද සහල්මත අටමගල අඳින ලද අතර එය ටන්තරයක ස්‌වරූපයක්‌ ඉසිලීය. අටමගල විවිධාකාරයට විස්‌තර වුවද අපට සුලබව දැකිය හැකි මඟුල් ලකුණු අටක්‌ ලෙස පහත දැක්‌වෙන අටමගල හැඳින්විය හැක.

1. ස්‌වස්‌තිකය
2. නෙළුම් මල
3. සංඛය
4. අලියා සහ හෙන්ඩුව
5. පුන්කලස
6. මඟුල් මඩුව
7. මාළුවා
8. උඩැක්‌කිය
එම මඟුල් ලකුණු අටයි.


හත්මුතු පරම්පරාව


හෙළ චාරිත්‍ර විධි පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ මෙම සියලු වාරිත්‍ර-වාරිත්‍ර- උපචාරවිධි අප පුරුදු පුහුණු වූයේ අපගේ වැඩිහිටියන් මෙම චාරිත්‍ර ඉටු කරනවා බලා හිඳීමෙන් බවය. කිසිම ආකාරයක අධ්‍යාපනයක්‌ කවර කලකවත් මේ පිළිබඳව අපට ලබාදී නොමැත. එහෙත් එම චාරිත්‍ර අප ඉටු කරන්නේ ඉතාමත් කැමැත්තෙනි. විවිධ මත වාද සමාජයේ කොතෙක්‌ තිබුණද අපේ මුතුන් මිත්තන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන අපට පුරුදු පුහුණු කළ මෙම චාරිත්‍ර වාරිත්‍ර ධර්මයෝ ඉදිරි පරම්පරාවට ද දායාද කිරීම අපගේ යුතුකමකි.


පරම්පරාව සිහිපත් කිරීමේදී අපට සම්මතයක්‌ ඇත. මෙහි ඉමක්‌ කොනක්‌ නොමැති බැවින් එම සම්මතය භාවිතා කිරීම ඉතාම උචිතය. එම සම්මතය නම් හත්මුතු පරම්පරාව යනුවෙනි. අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, මී මුත්තා. යනුවෙන් හත්මුතු පරම්පරාව හදුන්වා දිය හැකිය. විවිධ ප්‍රදේශවල දී හත්මුතු පරම්පරාව හැඳින්වීම මෙයට වඩා තරමක්‌ වෙනස්‌වන බව පෙනී යයි. මී මුත්තා වෙනුවට කිරි කෑ මුත්තා යනුවෙන් ද පරමඳ කොවුලා යනුවෙන් ද සමහර ප්‍රදේශවලදී භාවිතා වන බව දැකගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017