දෙවෙනි ගමන
 

මෙයත් චාරිත්‍රයකි


පසුදා උදෑසන නව යුවළ මධුසමය ගත කළ කාමරය වෙත මනාල මහතාගේ මව සහ රජක කුල ස්‌ත්‍රිය ද කැටුව පැමිණීම සිරිතයි. මංගල පෝරුවේ දී මනාලියගේ ඉන වටා දැවටූ සුදු පිරුවටය මධු සමයේ දී සිය චරිත ශුද්ධිය ඔප්පු කිරීම සඳහා භාවිතා කල යුතුය. එම පිරුවටය පසුදා උදෑසන පරික්‌ෂා කර බැලීම මනාලයාගේ මෑණියන් විසින් සිදුකරණ අතර චරිතය කර බැලීම මනාලයාගේ මෑණියන් විසින් සිදුකරණ අතර චරිතය පිළිබඳ ඇය සතුටට පත්වේනම් රෙද්ද කොනක යම්කිසි මුදලක්‌ ගැටගැසීම සිරිතය.


එය රජකකුල ස්‌ත්‍රියගේ සිත සතුටු කිරීම සඳහාය. අනතුරුව රතිඤ්ඤා පත්තු කර රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කරති. නිවසේ නැවතුන මනාලියගේ ඥාති වැඩිහිටි යුවළ ද මේ සඳහා සහභාගි වේ. වර්තමානයේ නම් මෙම පණිවිඩය රැගෙන මනාලයාගේ යහළු මනමාලයා රතු මලක්‌ ද සුදු රෙදිකඩක්‌ මත බුලත් අතක්‌ ද රැගෙන මනාලියගේ නිවසට යෑම සිරිතකි. එහිදී මනාලියගේ නිවසේ උදවිය ඔහු ඉතා ආදරයෙන් පිළිගෙන සංග්‍රහ සම්මාන කොට රතිඤ්ඤා පත්තු කර සතුට ප්‍රකාශ කරයි. මනාලියගේ පාර්ශවය මනාලයාගේ නිවසට පැමිණෙන්නේ මින් අනතුරුවයි. යම් යම් ප්‍රදේශවල මෙම චාරිත්‍රයන් වෙනස්‌ ආකාරයට එහෙත් චාරිත්‍රය ආරක්‌ෂා වන ලෙස ඉටු කරනු දැකිය හැක.

දෙවෙනි ගමන


විවිධ ප්‍රදේශවල ඉටු කරන විලාසයේ යම් යම් වෙනස්‌කම් දැකිය හැක. දෙවන ගමන - මහ ගමන - ලෙස මෙම චාරිත්‍රය හදුන්වති. විවාහයෙන් පසුව, මනාලියගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් මනමාලයාගේ නිවසට පැමිණීම මෙහිදී සිදු කරයි. කැවුම් කද මූලිකව තවත් බොහෝ දෑ මනාලියගේ නිවසට රැගෙන ඒම සහ ලුනු පොල්කට්‌ටේ සිට මුළුතැන්ගෙට අවශ්‍ය බොහෝ දේ කද බැඳගෙන පැමිණීම විශේෂත්වයකි. දෙවන ගමන ඉසදිය යනුවෙන් ද හදුන්වති. එහෙත් ඉසදිය යනු මෙහිදී ඉටු කරන තවත් චාරිත්‍රයකි. මධුසමයට පසු දින මනමාලයාගේ මව මනාලියගේ චරිත ශුද්ධිය පරික්‌ෂා කිරීමෙන් අනතුරුව මෙම චාරිත්‍රය ඉටුකරනු ලබයි.


මදක්‌ උස කොහොඹ ලෑල්ලක්‌ මත මනාලිය නංවා රෙදිවලින් ආවරණය කර, නැවුම් කලයකින් මනාලිය නැහැවීම සිදු කරයි. මෙම චාරිත්‍ර ඉටු කිරීමේ දී මනාලියගේ පාර්ශවයට ඇතිවන්නේ විස්‌තර කළ නොහැකි තරම් චිත්ත ප්‍රීතියකි. තම දියණිය චරිතවත් දියණියක්‌ බව දියණියගේ නැන්දම්මා ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශයක්‌ ලෙස මෙම සංකේතය හැඳින්විය හැක.
අනතුරුව නව යුවළ මනාලෙස සැරසී බුලත් හෙප්පුවක්‌ ද අතැතිව ඥාතින් ඉදිරියට පැමිණීම සිදු කරති.


බොහෝවිට මනාලිය සැරසෙන්නේ විවාහය දා, පෝරුවේ දී පිරිනැමුණ තැලි පිළි වලිනි. මනාලියගේ පාර්ශවයට ඉතා ගෞරවයෙන් සංග්‍රහ සම්මාන කිරීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. සියලු සංග්‍රහ සම්මානයෙන් සන්තර්පණය වී අවසානයේ නෑදෑයින් යුවළගෙන් සමුගැනීමට ප්‍රථම චාරිත්‍රයක්‌ ලෙස මනාලිය මනාල මහතාගේ මවට භාරදීම සිදුකරනු ලබයි. මෙතෙක්‌ කල් මවගේ සෙනෙහස මත හැදුණු වැඩුණු තම දියණියට මවක්‌ වන ලෙස සතුටු කදුළු වගුරුවමින් මනාලියගේ මෑණියන් මනාලියගේ මෑණියන්ගෙන් ඉල්ලා සිටින අතට මෙහි දී මනාල මහතා ද චාරිත්‍රයක්‌ ඉටු කරයි. එනම් මෙතරම් ගුණගරුක චරිතවත් දියණියක්‌ හදාවඩා ඇතිදැඩි කොට සිය බිරිඳ කර පාවාදීම වෙනුවෙන් මනාලියගේ මෑණියන්ට තුටු පඬුරු පිළිගැන්වීමයි.

බුලත් හෙප්පුව මත මුදලක්‌ තබා සුදු රෙදි කඩකින් වසා මනාලියගේ මෑණියන්ට පිළිගැන් වූ පසු මෑණියන් ද එම මුදල දෙගුණකර තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යැයි සලකමින් සිය දියණිය සහ බෑණනුවන්ගේ අනාගත අභිවෘද්ධිය තකා එම හෙප්පුව මනාලයාට ම භාරදීම සිරිතයි.

මෙහිදී දියණිය වෙනුවෙන් ලබාදෙන තෑගිබෝග දෑවැදි ආදිය පිරිනැමීම ද සිදු කරති. අනතුරුව දෙපාර්ශවයේ සුභ පැතුම්, ආශිර්වාද, අවවාද, අනුශාසනා මැද නව යුවළ මනාලියගේ දෙමාපියන්ගේ දෙපා වැඳ සමුගැනීම සිරිතයි.

(c) Shilpa Sayura Foundation 2006-2017